2018 ඔක්තෝබර් මස 22 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මොනවා වුණත් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ අහිංසක කලාකරුවෝ

2018 ජූනි මස 07 21:35:57 | deeptha

2018-06-07-ent-45

අනුජ් රණසිංහ කියන්නේ නිරූපණ ශිල්පියෙක් සේම රංගන ශිල්පියෙක් ලෙසත් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගෙන තිබේ. මේ දිනවල තිරගත වන ‘වස්සානයේ සඳ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායක වන ඔහු සමගයි අද කතාබහ.

 

‘වස්සානයේ සඳ’ චිත්‍රපටයට දායක විය යුතුයි කියන තීරණය ගත්තේ ඇයි?2018-06-07-ent-44

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයා. මං ඉස්සර ඉඳන් ගොඩක් ආසවෙන් ඔහුගේ නිර්මාණයකට දායක වෙනවා කියන බලාපොරොත්තුවෙන් හිටපු අධ්‍යක්ෂකවරයෙක්. ඒක එක හේතුවක් වුණා. අනෙක් හේතුව මෙහි පිටපත. අපිට දැනෙන කතා තේමාවක් එක්ක ගොඩනැගුණ පිටපතක් තමයි මෙය. ඒ දේවල් එක්ක ‘වස්සානයේ සඳ’ චිත්‍රපටයේ සන්දේශ්ගේ චරිතය කරන්න මම යොමු වුණා.

 

සන්දේශ්ගේ චරිතය ගොඩනැගෙන්න පසුබිම නිර්මාණය වෙන්නේ කෙලෙසකද?

ඒ පසුබිම හදාගන්න මට බොහෝ අය උදව් කළා. සන්දේශ් කියන්නේ තරුණ උගත් ඉහළ පාන්තික පවුලක පෙම්වතෙක්. සාමාන්‍ය සිනමාව තුළ අපි දකින පෙම්වතාම උනත්, මට එහි ලොකු අභියෝගයක් තිබ්බා. ඒ හදිසි අනතුරකින් ඔහු පත්වන්නා වූ තත්වයෙන් පසු චරිතය වෙනස් වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න සිද්ධ වුණා. මම එලෙස හදිසි අනතුරක් සිදුවූ විට කෙනෙක් හැසිරෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කළා. ඒ වගේම රූගත කිරීමේදී උදය අයියාගේ අධ්‍යක්ෂණය තුළින් ඒ චරිතයේ අනතුරට ලක්වීමට පෙර සහ පසු තත්ත්වයන් හොඳින් කරන්න හැකි වුණා.

 

ඔබ මීට පෙර ‘මේ වගේ ආදරයක්’ සිනමා නිර්මාණයට දායක වුණා. එහිත් පෙම්වතාගේ චරිතය තමයි ඔබ නිරූපණය කළේ?

ඒක මගේ පළමු සිනමා නිර්මාණය. එහිදී මට ලොකු අත්දැකීමක්, අවබෝධයක් තිබුණේ නැහැ. මම මේ සිනමා නිර්මාණයට දායක වෙනකොට ගොඩක් දේවල් හදාරලා තමයි ආවේ. මේ සිනමා නිර්මාණයේ සන්දේශ්ගේ චරිතය නිරූපණය කරගන්න මම සහභාගී වුණු වැඩමුළු වැනි දේවල් උපයෝගී වුණා. අපි හැමදාම දකින තරුණ පෙම්වතා කියන චරිතයට එහා ගිය මගේ රංගන කෞෂල්‍යය පෙන්විය හැකි හොඳ අවස්ථාවක් වුණා. මේ වන විටත් ලැබෙන ප්‍රතිචාර වලින් මට හිතෙනවා මේ චරිතයට මම කිසියම් සාධාරණයක් කරල තියනවා කියලා.

 

මේ හැදෑරීම් එක්ක ටෙලිනාට්‍ය වල වැඩකරන්න අනුජ්ගේ සූදානමක් නැද්ද?

හොඳ නිර්මාණකරුවෙකුගේ හොඳ නිර්මාණයකට දායක වෙන්න කැමතියි. දැන් අපි බොහෝ විට දකින්නේ ඒකාකාරී වූ ටෙලිනාට්‍ය මාලාවන්. එකම රංගන ශිල්පියා නාළිකා කිහිපයකම අපි දකින්නේ එකම විදිහට. ඒ ඒකාකාරීත්වයට කොටුවෙන්න මං කැමති නැහැ. එහෙම නැත්තම් මේ වන විට මම ගොඩක් නිර්මාණ වලට සම්බන්ධ වී ඉන්න තිබ්බා. මම වටහාගෙන තියෙන්නේ මාව ගැළපෙන හොඳම තැන සිනමාව කියලා. ඒ ඔස්සේ යන්න තමයි මගේ මූලික අරමුණ. ටෙලිනාට්‍ය සිදුකරන්නේ නැහැ කියලා ඉන් අදහස් කරන්නේ නැහැ. හොඳ අධ්‍යක්ෂකවරයෙක්ගේ වෙනස් චරිත නිරූපණයක් ඇත්නම් වේදිකා නාට්‍යවලට වුණත් සහභාගී වීමේ ඉඩක් තියෙනවා.

 

මෙහෙම තෝරා බේරගෙන නිර්මාණවලට දායක වෙන්න පුළුවන් පසුබිමක් හදාගන්න අවශ්‍ය නිසාද අනුජ් වෙනත් වෘත්තියකට යොමු වුණේ?

මම වෘත්තීමය නළුවෙක් ලෙස කටයුතු කරන්නේ නැහැ. මම මගේ ව්‍යාපාර වැඩකටයුතු සිදුකරනවා. මෝස්තර නිරූපණය සිදුකරන කාලයේ සිටම මම වෙන වෙනම ඒ දේවල් කරගෙන හිටියා. එය මට තෝරා බේරාගෙන නිර්මාණ භාරගන්න එක් හේතුවක් වුණා. මං හිතන්නේ ඒක තමයි හොඳ. ලැබෙන හැමදේම කරන්නේ නැතුව මට ගැළපෙන හොඳම දේ කරන්න යොමු වෙනවා. අඩුවෙන් නිර්මාණ කරලා වැඩියෙන් ප්‍රතිචාර ලැබෙනවා නම් එය හොඳයි කියලා මම හිතනවා.

 

අනුජ් ගැන වැඩි වශයෙන් ගොසිප් නිර්මාණය වෙනවා. ඒ වගේ ගොසිප් ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?

ඕනම ක්ෂේත්‍රයක ජනප්‍රිය පුද්ගලයන් ගැන සොයමින් ඉන්නවා. යන්නෙ කොහෙද, කාවද ආශ්‍රය කරන්නේ, කන්නේ මොනවද? ආදී දේ හොයනවා. ප්‍රේක්ෂකයන්ට චකිතයක්, කුතුහලයක් තියෙන එක හොඳයි. සිනමා නිර්මාණයක් හැදෙනකොට ඒ වගේ දේවල් හොඳයි. මම දකින නරක දේ තමයි මඩ ප්‍රහාර හා වැරදි ප්‍රචාර එල්ල කිරීම. එය මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොනවා වුණත් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ අහිංසක කලාකරුවෝ. එවැනි අයට මඩ ප්‍රහාර එල්ල කිරීම නිසාම සමාජය ඔහු දෙස බලන ආකාරයත් වෙනස් වෙනවා. මේ දේ කාලෙන් කාලෙට සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට මම දකින්නේ කාන්තාවන් තමන් ජනප්‍රිය වෙන්න තමන් විසින්ම ගොසිප් නිර්මාණය කරගැනීමක්. එහෙම නැත්තම් කිසියම් දේවල් ලබාගන්න ගොසිප් නිර්මාණය කර ගැනීමක්.

 

ඉදිරියේදී අනුජ්ගේ කලා කටයුතු කොහොමද?

වසර දෙකක පමණ කාලෙක සිට මගේම චිත්‍රපටයක් නිර්මාණය කරන්න ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. එහි බොහෝ වැඩකටයුතු අවසන් වෙලා තිබෙනවා. හර්ෂ උඩකන්දත්, මමත් ‘රෙඩ්’ කියන සිනමා නිර්මාණය කරන්න පෙර නිෂ්පාදන කටයුතු සිදුකරමින් පවතිනවා. ඒ සිහිනය සැබෑ වෙයි කියලා හිතනවා.

 

ඉදිරියේදී දකින්න ලැබෙන අනුජ් දායක වූ නිර්මාණ මොනවාද?

‘අග පිපි මල්’ චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. මම දායක වූ චිත්‍රපට දෙකේම පෙම්වතාගේ චරිතය තමයි නිරූපණය කළේ. නමුත් මේ චිත්‍රපටයේ දූෂිත පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක් තමයි මම රඟපාන්නේ. මෙහි පිටපත සත්‍ය කතාවක් පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මම කළ චිත්‍රපට වලින් වෙනස්ම චිත්‍රපටයක්. ඒ චරිතය තුළින් ප්‍රේක්ෂකයන් මගේ රංගනයේ වෙනසක් දකියි. මේඝා යන සිනමා නිර්මාණයටත් සම්බන්ධවෙලා ඉන්නවා. ඒ වගේම මේ දිනවල තිරගත වන ‘වස්සානයේ සඳ’ චිත්‍රපටය ගැන කිවයුතුයි. ‘වස්සානයේ සඳ’ චිත්‍රපටයේ කතා තේමාව බැලුවම බැලූ බැල්මට මේක තුන්කොන් ආදර කතාවක් වගේ පෙනුනට අපිට කියන වෙන කතාවක් තියෙනවා. අද සමාජය දෙස බලද්දී ආදරෙන් පැරදුණාම වෛරය, ක්‍රෝධය, පළිගැනීම ඉස්මතු වෙන්නේ. එවන් කාලයක ‘වස්සානයේ සඳ’ චිත්‍රපටය හොඳ පිළිතුරක් දෙනවා. වෙනස්ම වූ කතාවක්. මම හිතන්නේ විශේෂයෙන්ම තරුණ තරුණියන්ට ජීවිතයට දෙයක් ලබා ගන්න පුළුවන් චිත්‍රපටයක් කියලයි.

 

නිදුක් මදුෂික

 

2018-06-07-ent-42 2018-06-07-ent-43  

අදහස්(0) බැලූවෝ (1341)

මොනවා වුණත් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ අහිංසක කලාකරුවෝ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :