2018 මැයි මස 21 වැනි සඳුදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

අගමැති එක්ක නටලා මට ගෙදර ඉන්නත් නැහැ

2018 මාර්තු මස 19 12:45:45 | deeptha

2018-03-16-ent-39

1927 ජුලි 9 වැනිදා රුවන්වැල්ල මුදුගමුව ග‍්‍රාමයේදී උපත ලබා මහනුවර උසස් බාලිකා විදුහලෙන් සහ ප‍්‍රමුඛපෙලේ කොළඹ පාසල් ද්විත්වයකින් අකුරුකර එතැනින් කොළඹ ලංකා විශ්වවිද්‍යාලයට පය තබන ඇය ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය තුළින් සිය රංගන දක්ෂතා දැක්වීය.

ලංකා සිනමාවේ සුවිශේෂි සන්දිස්ථානයක් වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව චිත‍්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ඇය සංදේශය, දෙළොවක් අතර, වෙසතුරු සිරිත, ඔබදුටු දා, තුන්වෙනි යාමය, ලොකුදුව, පොරොන්දුව වැනි චිත‍්‍රපට තුළින් සහෘද සිත්සතන් මුසපත් කළාය. එමෙන්ම ඇය දායක වූ යශෝරාවය, දූ දරුවො, නෑදෑයෝ, පුංචි තිරයෙන්ද සහෘද සිත් ස්පර්ශ කළ ටෙලි නාට්‍යයන්ය. දශක ගණනාවක් ස්වකීය කෘතහස්ථ රංගනයෙන් සහෘද හදවත්වල ලැගුම් ගනිමින් වේදිකාව සිනමාව පුංචි තිරය තුළ සිය රංගනයෙන් සිත්තම් කළ ඒ විශිෂ්ට රංගනවේදිනිය අයිරාංගනී සේරසිංහ අද අපේ කතාබහ තුළින් එකතු වුණා.

 

ඉතින් කොහොමද? නිවාඩු පාඩුවේ ගතකරන ජීවිතේ?2018-03-16-ent-41

හරිම නිදහසෙන් ජීවිතේ ගලාගෙන යනවා. දැන් ඉතින් මාර්කට් යන්න ගෙදර වැඩ ඒ දේවල් කරන්න අමාරුයි. කම්මැලිකම ඇරෙන්න නිතර පොත් කියවනවා. ඊට අමතරව තවමත් මට නිර්මාණවලට ආරාධනා කරනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා. මේ දවස්වලත් නිර්මාණයකට දායක වෙලා ඉන්නවා. වෛද්‍යවරු නම් ඉතින් කියලා තියෙන්නේ විවේකයෙන් ඉන්න කියලා. ඒත් මම තවම ආසයි රඟපාන්න.

 

පුංචි තිරයට වඩා ඔබතුමිය ප‍්‍රිය කළේ වේදිකාවට?

ඔව්, මම වේදිකා නාට්‍යවල රඟපාන්න තමයි ගොඩක්ම ආස. ඒත් දැන් මට වේදිකා නාට්‍ය කරන්න අපහසුයිනේ. වේදිකාවේ රඟපාන්න ගොඩක් මහන්සි වෙන්න ඕන. මගේ වයසත් එක්ක ඒ කැපකිරීම දැන් කරන්න බැහැ. පුළුවන් කාලේ ඇතිවෙන්න රඟපෑවනේ. ඒවා ගැන හිතලා සතුටු වෙනවා.

 

අයිරාංගනී රොක්සානා මීදෙනිය... මීදෙනිය වලව්වෙන්ම මතකය අවධි කරොත්?

අපේ අම්මට දරුවො හතරයි. අක්කයි, මමයි, නංගියි, මල්ලියි. අයියා කෙනෙක් නැති අඩුව ටිකක් දැනුණා. මම ඉපදෙන්නේ මුදුගමුව කියන ගමේ. හරිම සුන්දර, සොබාදහමත් එක්ක ගැටුන ලස්සන කුඩා කාලයක් මට තිබුණා. ඔයේ නානවා. ගමේ පොඩි අය එක්ක සෙල්ලම් කරනවා. මීදෙනිය කියන්නේ අපේ මුල් ගම. ඒත් අපි ජීවත්වුනේ හැදුනේ වැඩුනේ මුදුගමුවේ. වලව් පැලැන්ති, උසස් කුල කියලා මට එහෙම එකක් නැහැ. පුංචි කාලේ ඉඳලම කුලවලට බෙදනවට, ජාති ආගම්වලට බෙදෙන එකට මම හරිම අකමැතියි. ගමේ ළමයි එක්ක වුනත් ඔයේ පැන්නේ සෙල්ලම් කළේ අපි එකට.

 

ගමේ සුවඳ ගහ කොල එක්ක හැදුණු ඔබතුමියට පසුව කොළඹ පාසල් අධ්‍යාපනයත් එක්ක හැඩගැහෙන්න සිද්ධ වුණා?

ඔව්. ඇඞ්ලින් මොලමුරේ මගේ නැන්දා තමයි මාව කොළඹ එක්කරගෙන ආවේ. කොළඹ ආවේ මම නැන්දගේ තනියට. නැන්දා දවසක් අපේ ගෙදර ඇවිත් කිව්වා අනේ මගේ දුව දැන් ලොකු ලමිස්සියක්. දැන් මට පාළුයි. මම චණ්ඩිව කොළඹ එක්කගෙන යනවා කියලා අප්පච්චිගෙන් අවසර අරගෙන මාව කොළඹ එක්කරගෙන ආවා. එතැනින් ජීවිතේ ගොඩක් වෙනස් වුණා.

 

ඊට පස්සේ පාසල් තුනක ඔබතුමිය අධ්‍යාපනය හදාරනවා?

මම වැඩිපුර කාලයක් ඉගෙන ගත්තේ බිෂොප් විද්‍යාලයේ. කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ නම් ලොකු කාලයක් මට ඉගෙනගන්න ලැබුණේ නැහැ. මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙත් මම ඉගෙන ගත්තා.

 

පාසල් කාලේදි නාට්‍ය කලාව ගැන ආසාවක් තිබුණද?

ඒ කාලේ මේක කලාවක් කියලා මට ලොකු අවබෝධයක් තිබුනේ නැහැ. ඉස්කෝලෙදි අවුරුද්දකට එක වේදිකා නාට්‍යකට හරි මම සහභාගී වුණා. ඊට පස්සේ වේදිකා නාට්‍ය පිස්සුවක් වගේ ඔළුවට ගැහුවේ විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ.

 

කලාවට වගේම ඒ කාලේ ඔබතුමිය දක්ෂ පිහිනුම්කාරියක්?

ඔව්. මුලින්ම පීනන්න පුරුදු වෙනකොට මට අවුරුදු 6 යි. බිෂොප් විද්‍යාලයෙනුත් ඒකට ලොකු සහයෝගයක් ලැබුණා. ගුරුගොඩ ඔය තිබුණේ අපේ ගෙදර ඉස්සරහ. ඒ නිසාම මට හොඳට පීනන්න පුළුවන්. තවමත් මට හොඳට පීනන්න පුළුවන්. පීනන්න ඉගෙන ගත්තොත් ඒක මැරෙනකම් අමතක වෙන්නේ නැති ශිල්පයක්.

 

ඒ දවස්වල ගෙදරට චණ්ඩි කියලා නමක් වැටුණේ ඒ තරම් දඟද?

මට චණ්ඩි කියලා නම දැම්මේ මගේ අත්තම්මා. පුංචි කාලේ මම වැඩිපුරම කළේ එපා කියපු දේ. ඔයට නාන්න ගියාම පාරුවල එල්ලිලා යනවා. අත්තම්මා එපා කියලා කෑගහනවා. ගස් නගිනවා. හවසට මම නියර දිගේ කුඹුරට යනවා. ගිහින් ගලක් උඩ වාඩි වෙලා ඈත අහස දිහා බලාගෙන ඉන්නවා. හවසට කුඹුරට යන්න එපා කියලා අත්තම්මා මට තරවටු කරලත් තියෙනවා. මාව බලාගන්න ආයම්මා කෙනෙක් හිටියා. එයා කිව්වා හවසට ගෑණු ළමයි එළියට බහින්න හොඳ නැහැ, ගෑණු ළමයි අල්ලගන්න හවසට කළුකුමාරයා එනවා කියලා. ඉතින් මම බයවුනේ නැහැ. මම හරිම සතුටු වුණා. කවුද මේ කළුකුමාරයා කියලා බලන්න. ඉතින් හොරෙන් එළියට ඇවිත් බලනවා හවසට කළුකුමාරයා මොන වගේද කියලා.

 

බිෂොප් විද්‍යාලයේ නේවාසිකාගාරයේ ගතකරපු ජීවිතේ කොහොමද?

අම්මෝ, මුලින්ම ගෙදරින් මිදිලා එකපාරටම නේවාසිකාගාරයට ආවම පොඩි දුකක්, පාළුවක් දැණුනා. ළමයි එක්ක එකට සෙල්ලම් කරනකොට ඒවා මඟඇරිලා ගියා. මදර්ලා ඉතින් ටිකක් සැරයි. ඒත් අපිව ආදරෙන් බලාගත්තා. මම ටිකක් දඟයි. දඟ වැඩ කළාට මාව නම් කවදාවත් අහුවෙලා දඬුවම් විඳලා නැහැ.

ජීවිතේ මේ විදිහට ගෙවීගෙන යද්දී උසස්පෙළ කඩඉඩමෙන් ඉහළින්ම සමත්වෙලා ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ කළේ ගෑණු ළමයි ගොඩක් වෙලාවට හැදුනේ ගෙවල් ඇතුළේ. ගෑණු ළමයින්ට වැඩිදුර අධ්‍යාපන දෙන්න ඒ කාලේ කැමති වුණේ නැහැ. මටත් ඒ කොන්දේසිවලට මුහුණ දෙන්න වුණා. විශ්වවිද්‍යාලයට යාමට අවසර ගන්න මම පියා එක්ක ලොකු අරගලයක් ඇතිකරගත්තා.

මම විශ්වවිද්‍යාලයට තේරුණාට පස්සේ අප්පච්චි කිව්වා දැන් ඔය ඉගෙන ගත්තා ඇති. ගෑණු ළමයි මොනවටද ඔච්චර ඉගෙන ගන්නේ කියලා ඇහුවා. මම ඉතින් කැම්පස් යන්නම ඕන කියලා පෙරළි පෙරළි ඇඬුවා. දැන් ගෙදර ලොකු යුද්ධයක් වගේ. මට යන්න අවසර දෙනකම් මම අප්පච්චිට කිව්වා මම කෑම වර්ජනය කරනවා කියලා. මේසෙට කෑම කන්න මම ගියේ නැහැ. ඒත් අම්මා දන්නවා මම හොරෙන් කනවා කියලා. කොහොමහරි අරගලය මම දිනුවා. 1947 දි ඒ කාලේ තිබුණේ ලංකා විශ්වවිද්‍යාලය විතරයි.

 

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඔබතුමිය යනවා එංගලන්තයට?

ඔව්. විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ඉවර වෙනකොටම මම විවාහ වුණා. ඔහු දිසානායක කියලා. ඔහුගේ වැඩිදුර අධ්‍යාපන වෙනුවෙන් මටත් ඔහු සමඟ එංගලන්තයට යන්න වුණා. එංගලන්තයෙදි මට නාට්‍ය ගැන ඉගෙන ගන්න ලැබුණා. එහේ ඉගෙන ගනිද්දි තමයි කලාව කියන්නේ කොච්චර ගැඹුරු විෂයක්ද කියලා මට තේරුනේ. ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ මම පළමු විවාහයෙන් අයින් වුණා.

 

එංගලන්තයේ ඉගෙන ගනිද්දි ඔබතුමියට හීනයක් තිබුණා ලංකාවේ තරුණ පරපුරට මේ දැනුම දෙන්න. ඒ හීනෙට මොකද වුණේ?

ඇත්තටම මම ඉගෙන ගත්ත දේවල් දරුවන්ට උගන්වන්න ලොකු ආසාවකින් තමයි ලංකාවට ආවේ. මගේ ලොකුම ආසාව තිබුණේ ගුරුවරියක් වෙන්න. රට ගිහින් එනකොට ලංකාවේ දේශපාලනික වශයෙන් වෙනස් වෙලා තිබුණා. මම ලංකාවෙන් යනකොට රටේ වැඩකටයුතු සිදු වුණේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්. මම ලංකාවට එනකොට ඒ දේවල් සිදුවුණේ සිංහල භාෂාවෙන්. ඉතින් මට පාසලකට ගුරුවරියක් ලෙස ඇතුල් වෙන්න පහසුකම් තිබුණේ නැහැ. නැත්නම් අද මම ගුරුවරියක්. විශ්වවිද්‍යාලයෙන් අයින් වුණාට පස්සේ ස්වේච්ඡුාවෙන් මියුසියස් විද්‍යාලයේ මම ඉංග‍්‍රීසිත් ඉගැන්වුවා.

 

ඔබතුමිය දීර්ඝව රංගනයට දායක වෙනවට ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?

අපෝ නැහැ. ඒත් ඒකාලේ මම චිත‍්‍රසේන මහත්මයා ළඟ නැටුම් ඉගෙන ගත්තා. නටනවට නම් අම්මා වැඩිය කැමති වුණේ නැහැ. රඟපානවට නම් ගෙදරින් අකමැති වුණේ නැහැ.

 

ඔබතුමියගේ පළමු සිංහල වේදිකා නාට්‍ය අත්දැකීමේ මතකය කොයිවගේද?

හෙන්රි ජයසේන මහත්මයගේ ‘අපට පුතේ මඟක් නැතේ’ තමයි මගේ මුල්ම සිංහල වේදිකා නාට්‍ය. ඒකේ මට සිංහලෙන් කවියකුත් කියන්න තිබුණා. සිංහල නාට්‍යකට වේදිකාවට නැගපු මුල්ම දවසේ මට දෙබස් මතක නැති වේවි කියලා බයක් දැනුණා.

 

ඊට පස්සේ ලෙස්ටර් මහත්මයාගේ ‘රේඛාවත්’ සමඟ අයිරාංගනී සේරසිංහ මහත්මියගේ සිනමා ගමන පටන් ගන්නවා?

ඔව් ඒක හරිම අහම්බෙන් ලැබුනු අවස්ථාවක්. රේඛාවට සම්බන්ධ වීමත් එක්ක මගේ රංගන ජීවිතෙත් අලූත්ම ආරම්භයක් ගත්තා. රේඛාවෙන් පස්සේ පේ‍්‍රක්‍ෂකයෝ පුදුම විදිහට මට ආදරේ කරන්න ගත්තා. ඊට පස්සේ ලෙස්ටර් මහත්මයාගේ චිත‍්‍රපට ගණනාවක මම රඟපෑවා. හැබැයි තව පොඞ්ඩෙන් ‘සන්දේශය’ චිත‍්‍රපටයෙන් මගේ සිනමා ගමන නවතින්නත් තිබුණා. මුලින්ම රේඛාවේ රඟපාද්දි සිංහලෙන් රඟපාන්න මම බයවුණු නිසා ලෙස්ටර් මාව දිරිමත් කළා.

 

ඇයි ඒ?

සන්දේශය චිත‍්‍රපයේ රූගත කිරීම් කරන දවසක මට තිබුණා මගේ අත්දෙක බැඳලා මාව ඔයකට තල්ලූ කරන දර්ශනයක්. වලවේ ගඟ ළඟට ගිහින් මගේ අත් දෙක කොහු ලණුවලින් බැඳලා මාව තල්ලූ කළා. දිය යටට ගිහින් ගැටගහපු අත් දෙක ලිහලා ගොඩට පීනන්න කිව්වා. ලෙස්ටර් කිව්වා දිය යටට ගිහින් ඔක්සිජන් වගේ බුබුළු දාන්න කියලා. දිය යටට ගියහම කොහු ලණුවලින් අත් දෙක තද වුණා. ලෙස්ටර්ට අමතක වුණා කොහු ලණුව දියට ගියාම තද වෙනවා කියලා. දැන් මගේ හුස්මත් නැහැ. දඟලලා ලණුව ගලවගෙන ගොඩට පීනුවා. ලෙස්ටර් ඇහුවා මොකද්ද අයිරංගනී කෝ ඔක්සිජන් වගේ බුබුළු කියලා. මම ඉතින් දිය යට වුණ දේ කිව්වා. ආයෙම ඒ දර්ශනය කරමු කිව්වා. එදා ෂූටින් බලන්න අම්මාත් ඇවිල්ලා හිටියා. මම දැන් තෙත පිටින්ම අම්මට කිව්වා ආයෙම ඒක දර්ශනය ගන්න හදන්නේ ඇඳුම් මාරු කරගන්න බැහැ කියලා. ‘මොනවා පිස්සුද උඹට. එනවා යන්න ගෙදර.

සීතලේ ඉඳලා ලෙඩක් හදාගන්නද හදන්නේ’ කියලා අම්මා බැන්නා.

ඉතින් මම කිව්වා ‘අනේ එහෙම අතරමඟ යන්න බැහැ අම්මේ. මම ඒක කරන්න ඕන’ කියලා ‘මේකටද ෂූටින් කියන්නේ. පිස්සු වැඩ නැතුව ගෙදර යන්න වරෙන්’ කියලා මට එදා අම්මා හොඳටම බැන්නා. එදා ගෙදර එක්කගෙන ගියා නම් ආයෙම රඟපාන්න එවන්නේ නැහැ.

 

රේඛාව චිත‍්‍රපටයෙන්ම ඔබතුමියට මුලින්ම සම්මානයක් ලැබෙනවා?

ඔව්. ඊට පස්සේ ‘ඔබදුටු දා’ චිත‍්‍රපටයෙන් හොඳම නිළියට හිිමි සරසවි සම්මානය ලැබුණා. ඒ වගේ චිත‍්‍රපටි ටෙලි නාට්‍ය ගණනාවක මට සම්මාන ලැබුණා. ලැබුණ සම්මාන ප‍්‍රමාණය කොච්චරද කියනවානම් මට ගෙදර තියාගන්නත් ඉඩක් නැහැ එච්චරට සම්මාන. මම සම්මාන බලාපොරොත්තුවෙන් රඟපෑවේ නැහැ. ඒ කාලේ සම්මාන ලැබුණා කියලත් මම ඔළුව උදුම්මවා ගත්තේ නැහැ.

 

ඔබතුමිය රංගනයට අමතර පුවත්පත් කලාවේදිනියක් ලෙසත් වැඩ කළා?

ඔව්. රඟපානවට අමතරව රැුකියාවක් කරන්න ඕන කියලා මට හිතුනා. ඊට පස්සේ ඔසපැි දෙ ක්‍ැහකදබ පත්තරේ මාධ්‍යවේදිනියක් විදිහට අවුරුදු 3ක් වැඩ කළා. මගේ දෙවැනි විවාහය සිදුවුණේ ඒ කාලෙදි. එතකොට මම රේඛාව, සංදේශය, බක්මහදීග මේ චිත‍්‍රපටි රඟපාලා තිබුණේ. ඒ කාලේ මම බබාලට හරිම ආසයි. දරුවෙක් ලැබෙනකම් මම හරිම ආසාවෙන් බලාගෙන හිටියා.

 

කොහොමද ඔගඋ සේරසිංහ මහත්මයව ඔබතුමියගේ ජීවිතේට මුණ ගැහෙන්නේ?

ඔහු නාට්‍ය ගණනාවක රඟපෑව නිසා මම කලින් ඉඳලම ඔහුව හඳුනනවා. ඔය අතරේ මම රඟපාපු වේදිකා නාට්‍යයක් බලන්න සේරසිංහ මහත්මයත් ඇවිත් ඉඳලා තියෙනවා. එදා නාට්‍ය රඟපාලා ඉවර වුණාට පස්සේ මාව පෙන්නලා කිව්වලූ අන්න අර ගෑණු ළමයට නම් හොඳට රඟපාන්න පුළුවන් කියලා. එහෙම කිව්ව කෙනා අන්තිමට මගේ පුතාලගේ තාත්තා වුණා. එදා එහෙම කිව් කෙනා පස්සේ කසාඳ බඳිවි කියලා හීනෙකින්වත් හිතුවෙ නැහැ. ඊට පස්සේ අපි නාට්‍ය දෙක තුනක එකට රඟපෑවා. කතාබහ කරලා තේරුම් අරගෙන අපි විවාහ වුණා. අපි ඔය ලොකු මඟුල් උත්සව ගත්තේ නැහැ. හරිම චාම්ව ඒ කටයුතු කළා.

 

ඔබතුමිය වැඩිපුරම පේ‍්‍රක්‍ෂකයා අතර ගියේ පේ‍්‍රමණීය චරිතවලට වඩා මව්වරුන්ගේ චරිතවලින්?

ඔව්. මම ගොඩක්ම කළේ මව්වරුන්ගේ චරිත. පේ‍්‍රමණීය චරිත කළේම නැහැ. වේදිකාවේ නම් කළා. කැමරාව ඉදිරියේ පේ‍්‍රම ජවනිකා කළේ නැහැ.

ඒකට හේතුවක් මම දන්නේ නැහැ. මම ඒ කාලේ පේ‍්‍රම ජවනිකා චරිතවලට කැමති වුණෙත් නැහැ.

 

ලංකාවේ උසස් පවුල්වලට අගමැතිවරුන්ට ජනාධිපතිවරුන්ට කිට්ටු ඥාති සබඳතා තිබුණට ඔබතුමිය කවදාවත් දේශපාලනයට ආවේ නැහැ?

මම ආස නැහැ දේශපාලනයට. මම ආස තනියම නිදහසේ ඉන්න. පෞද්ගලිකත්වයට මම ආදරෙයි. පෞද්ගලික දේවල් සමාජයට ගෙනියන්න මම කැමති නැහැ. පසුගිය දවසක අගමැති රනිල් එක්ක නටලා අයියෝ මට ගෙදර ඉන්න නැහැ. රිද්මයකට ඉබේම නැටවෙනවා. ඒක ස්වභාවික දෙයක්. රිද්මයකට, බෙර පදයකට අතක්, කකුලක් හෙලවෙන්නේ නැත්නම් ඒක ලෙඩක්. රනිල් දැක්කම මට හිතෙන්නේ නැහැ මේ අගමැතිතුමා කියලා. මට පේන්නේ ඔහු මගේ පුතා විදිහට. ඔහු මගේ නැන්දගේ මුණුපුරා. රනිල් ඉපදෙන්න කලින් අපි එයාලගේ ගෙදර නිතරම යනවා. රනිල්ගේ අම්මා එක්ක මම හරිම යාළුයි. රනිල් ඉපදිලා දවස් දෙකෙන් මම රනිල්ව බලන්න ගියා. කොලූ පැටියා දැක්කම මට හරි ආස හිතුනා. එතකොට අපි ලොකුයි.

 

පුතාලා දෙන්නගෙන් එක්කෙනෙක්වත් කලාවට යොමු වුණේ නැහැ?

ඔව්. තාත්තා එක්ක ලොකු පුතා නම් පුංචි කාලයක් කලාවට යොමු වුණා. ඒත් ටික කාලයයි. දරුවෝ දෙන්නම කලාවට ආවේ නැහැ.

 

සාර්ථකව ජීවිතය ජයගන්නකොට මුලින්ම මවක් වුණු මොහොත ඔබතුමියට දැනුණේ කොහොමද?

මම අම්මා කෙනෙක් වුණේ පුදුම ආසාවකින්. ලොකු පුතා ලැබෙනකම් මම හිටියේ ඉවසිල්ලක් නැතුව. මම ලොකු පුතා වෙනුවෙන් අවුරුදු හයක් විතර කලාවෙන් අයින් වුණා. එතකොට සේරසිංහ මහත්මයත් වැඩකළා. අනේ ඉතින් දාලා යනකොට හරියට අඬනවා. ඒ වෙලාවට මගේ පපුව පැලෙන්න වගේ එනවා. දැන් මම ඉන්නේ බාල පුතත් එක්ක එයාලගේ ගෙදර. රිය අනතුරකින් ලොකු පුතා නැති වුණාට පස්සේ මාව මානසිකව පුදුම විදිහට කඩා වැටුනා. පුතා නැති වෙනකොට අවුරුදු තිස්ගාණක්. ‘දූ දරුවෝ’ කරනකොට තමයි මේ සිදුවීම වුණේ. ඊට පස්සේ මට රඟපාන්න හිතුනෙම නැහැ. ඔහොම ඉන්නකොට මට තැපෑලේ ගෙදරට පොතක් ආවා. ඒක බුද්ධාගම ගැන තියෙන පොතක්. මට බුද්ධාගම ගැන ලොකු පැහැදීමක් ආවා. ඒ පොත්පත් හොයාගෙන මම කියෙව්වා. ජීවිතේට පුදුම විදිහට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මගේ කිරි අත්තා ක‍්‍රිස්තියානි. කිරි අත්තා අපිව බලෙන්ම එක්කගෙන ගිහින් පුංචි කාලෙදිම බෞතිස්ම කළා. ඒත් දැන් මම බුද්ධාගමට නැඹුරු වෙලා ආගම ඉගෙන ගන්නවා. මම භාවනා කරනවා. මාසෙකට විතර කොහෙට හරි ගිහින් භාවනා කරන්න හිතාගෙන ඉන්නවා. තාමත් මගේ හදවතේ මගේ ලොකු පුතා ජීවත් වෙනවා. ජීවිතේ කවදාවත් මම නපුරු වෙලා නැහැ. කා එක්කවත් තරහ වෙලාත් නැහැ. ජීවිත කාලෙටම මම කා එක්කවත් තරහ අරගෙනත් නැහැ.

 

දැන් වයස අවුරුදු 90ක්. ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

කරුණාව, මෛත‍්‍රිය තියෙනවා නම් අපේ ජීවිත මීට වඩා වෙනස්. අද මේ රටේ මිනිසුන්ට නැත්තේ ඒකමයි. ජීවිතේ ගැන සතුටුයි. මට වුණත් ගොඩක් අය කියලා තියෙනවා ආ ලොකු උසස් පවුලකින් නේද එන්නේ කියලා. මම කියන්නේ රජෙකුට වුණත් එපා කරපු නරක දරුවෝ ලැබෙන්න පුළුවන්. පවුල වැදගත් නැහැ. වැදගත් වෙන්නේ පුද්ගලයා විතරයි.

 

නදීශා අතුකෝරළ ඡායාරූප - චමත් වින්දුල

 

 2018-03-16-ent-40 2018-03-16-ent-38

අදහස්(0) බැලූවෝ (1019)

අගමැති එක්ක නටලා මට ගෙදර ඉන්නත් නැහැ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :