2018 ජූනි මස 19 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

ටෙලි නාට්‍ය දහ අටකම රඟපාන්න බැහැ කිව්වා

2018 ජනවාරි මස 14 11:43:18 | deeptha

2018-01-12-ent-39

මේ දිනවල පුංචි තිරයේ දක්නට ලැබෙන චරිත අතර අරවින්ද දොඹගහවත්ත කියන්නෙත් ඉදිරියෙන්ම සිටින රංගන ශිල්පියෙක්.

ඇතුගල්පුරවරයෙන් බිහිවූ මේ දක්ෂ රංගන ශිල්පියා ගැන කතා කරන්නට මෙවර සඳැල්ලෙන් ඉඩක් වෙන් වෙනවා.

මේ කතාබහ ඔහුට ආදරය කරන ඔබ වෙනුවෙන්.

 

ටික කාලයකට පස්සෙ අරවින්ද පුංචි තිරයට ඇවිල්ලා ඉන්නවා?

ඔව්. මේ දවස්වල ස්වර්ණවාහිනියෙ විකාශය වන ‘පාලි’ ටෙලිනාට්‍යය හරහා දකින්න ඉන්නවා. විදත් කියන චරිතය තමයි රඟදක්වන්නෙ.

 

විදත් ගැන ටිකක් කතා කරමුද?

විදත් කියන්නෙ තීක්ෂණ බුද්ධියක් තියෙන නිහඬ වැඩි කතාබහක් නැති රහස් පරීක්ෂකයෙක් වගේ තරුණයෙක්. ඔහු හැමදේ ගැනම විචක්ෂණශීලීව තමයි බලන්නෙ.

 

ඉතින් විදත්ට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?

ලැබෙන ප‍්‍රතිචාරත් ඉතා හොඳයි. පාරතොටේ යද්දි වුණත්, දුරකථනයෙන් වුණත් කතාබහ කරලා අදහස් ප‍්‍රකාශ කරනවා.

 

‘පාලි’ වලට අමතරව නියැළෙන නිර්මාණ කටයුතු?

ඊට අමතරව කැලෑ හඳ රූගත කිරීම් සිදුවෙනවා. ඒ වගේම පිච්ච මල සුවඳයි ටෙලි නාට්‍යයේත් වැඩ කටයුතු කරගෙන යනවා.

 

විවිධාංග චරිතවලින් නේද දකින්න ලැබෙන්නෙ?

ඔව්. පිච්ච මල සුවඳයි නාට්‍යයේ මිත‍්‍රපාල කියන්නෙ ගැමි චරිතයක්. බොහෝම දයාව අනුකම්පාවෙන් ඉන්න තරුණයෙක්. අහිංසක, අසරණ දුප්පත් වඩුවෙක්ගෙ පුතෙක්. කැලෑ හඳේ ජෝන් ජයපාල කියන්නෙ ඉහළ පැලැන්තියෙ ඉංග‍්‍රීසි කතා කරන ධනවත් පවුලක තරුණයෙක්. නමුත් ඉහළ ධනවාදී සංස්කෘතිය බිඳින්න කැමති කෙනෙක්. ඔහුට මාලනී නම් දුප්පත් කිරි කපන ගෑනු ළමයෙකුට ආදරයක් ඇතිවෙනවා. නමුත් ඒ ආදරය අවසන් වෙන්නෙ ලොකු ඛේදාන්තයකින්. ඒ විදියට තමයි චරිත දිග ඇරෙන්නෙ.

 

කැලෑ හඳේ ජෝන් ජයපාලගෙ වගේ අරවින්ද දොඹගහවත්තගෙ ආදරේ ඛේදාන්තයක් නෑ නේද?

අනේ නෑ. මට ආදර සම්බන්ධතාවක් පටන්ගන්න කාලයක් ආවෙ නෑ. නමුත් යෝජනා කිහිපයක් ලැබිලා තියෙනවා. ඒත් ඒවා ගැන තව හිතලා නෑ.

 

ඇයි හිතලා නැත්තෙ? දැන් වයසත් හරිනෙ නේද ඒ ගැන හිතන්න?

මෙහෙමයි ජීවිතේ එක පාරයි ආදරේ කියන දේ ගැන හිතන්න ඕනෑ. මම සම්ප‍්‍රදාය ටිකක් රකින චරිතයක්. ඒ නිසා මම හිතනවා ආදරේ කියන දේ එක එක කාලවලට ගැලපෙන ගැලපෙන තැන් හොයාගෙන යන්නෙ නැතිව කෙනෙක් ගැන හැඟීමක් ඇතිවුණොත් ඒ කෙනා ගැලපෙනවද කියලා බලලා එතැන් පටන් ඒ ආදරේ පටන් ගන්න ඕනෑ. අද සමාජයේ ආදරේ කියන දේ බලන්නෙ කඩවල්වල කෑම පරික්ෂා කරනවා වගේ. එක එක කඩවල් වලින් කාලා රස පරික්ෂා කරනවා වගේ වැඩක් අද තියෙන්නෙ. මම ඒ දේට විරුද්ධයි. ආදරේ කියන්නෙ ඉබේම ඇතිවිය යුතු දෙයක්. මට තවම එහෙම ආදරයක් ඇතිවෙලා නෑ. මම බලන ගුණාංග සහිත කෙනෙක් ලැබිලත් නෑ. ඉදිරියට බලමු.

 

2018-01-12-ent-38

 

හ්ම් තවම පොඩි ළමයෙක් නෙ නේද?

ඒකනෙ. අම්මා තවම පොඩි පුතා කියලා කතා කරන්නෙත්.

 

රංගනය කියන දේ ඇඟ ඇතුළෙ තියෙනවා කියලා පුංචි කාලෙ ඉඳන් දැනගෙන හිටියද?

ඔව්. පුංචි කාලෙ කියන්නෙ මම ඉස්සෙල්ලම රඟපාන්න පටන්ගත්තෙ 1996 දී. එතකොට මම 1 වසරෙ ජාලිය රාජපක්ෂ ගුරුතුමා තමයි මට මුලින්ම රඟපාන්න චරිතයක් දෙන්නෙ. එදා ඉඳලා පටන්ගත්තු රඟපෑම මම හිතන්නෙ මේ. ගොඩක් දෙනෙක් විභාග තියෙන කාලවල වගේ බාහිර වැඩ කටයුතුවලින් ඉවත් වෙනවනෙ. නමුත් මම රංගනය කවදාවත් අතඇරියෙ නෑ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ කරන කාලෙත් රඟපෑවා. පොඩි කාලෙ ඉඳන්ම නළුවෙක් වෙන්න ලොකු ආසාවක් තිබුණා.

 

පාසල් වේදිකාවෙ චරිතාංග නළුවෙක් විදියට රංගනයන් ඉදිරිපත් කරලා අරවින්ද සම්මානයට පවා පාත‍්‍රවුණා නේද?

ඔව්. පාසල් වේදිකාවෙත් චරිතාංග නළුවෙක් තමයි මම. කාන්තා චරිත පවා රඟපෑවා. සමස්ථ ලංකා මට්ටමින් ජයග‍්‍රහණ පවා ලැබිලා තියෙනවා. ඒ කාලෙ රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තෙ මගෙ පාසල කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පාසල් වේදිකාවෙන්.

 

දැන් ක්ෂේත‍්‍රයට ඇවිල්ලා කොච්චර කල්ද?

ක්ෂේත‍්‍රයට ඇවිල්ලා අවුරුදු 7 ක් වෙනවා. මේ කාලෙදි මම බොහොම අඩු ටෙලිනාට්‍ය සංඛ්‍යාවක් කළාට කළේ හොඳ ටෙලිනාට්‍ය සහ චිත‍්‍රපට. මම තෝරා බේරාගෙන තමයි චරිත රඟපාන්න ගන්නෙ. මේ වෙද්දි ටෙලිනාට්‍ය 18 ක් විතර ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද ඒ චරිත මට දැනෙන්නෙ නෑ.

 

ඇයි දැනෙන්නෙ නැත්තෙ?

ඒ ලැබුණු චරිත කරන්න පුළුවන් කියලා දෙයක් මට නෑ. ඒ නිසා බොහෝ චරිත අතඅරිනවා.

 

චරිතයක් තෝරාගන්න මොනවගේ දේවල්ද බලන්නෙ?

පළවෙනිම දේ චරිතය තුළ පරාසය, දෙවැනිව අධ්‍යක්ෂවරයා. එතැනින් පසුව පිටපතේ තියෙන ප‍්‍රබලත්වය සහ අධ්‍යක්ෂවරයා සමග සම්බන්ධ වෙන්නට පුළුවන් විදිය. ඒ කාරණා බලනවා වැඩක් භාරගන්න කළින්.

 

එතකොට අරවින්ද තෝරගත්තු අධ්‍යක්ෂවරු ඉන්නවද?

ඔව්. කිහිපදෙනෙක් ඉන්නවා. ඒ කියන්නෙ මම අනිත් අය එක්ක වැඩ කරන්නෙ නෑ කියන එක නෙමෙයි. නමුත් යමක් ඉගෙනගන්න පුළුවන් කියන තැන ඉන්න අධ්‍යක්ෂවරු එක්ක වැඩ කරන්න මම හරි ආසයි. මම හිතන්නෙ ඒ නිසා මට විවිධාකාර චරිත ලැබෙනවා. මාත් එක්ක බලද්දි අද ක්ෂේත‍්‍රයේ සමකාලීනයන්ටත් මම හිතන්නෙ නෑ විවිධාකාර චරිත ලැබෙනවා කියලා.

 

අරවින්ද මේ වෙද්දි කළු, සුදු, දුප්පත්, පෝසත් භේදයකින් තොරව චරිත රඟදක්වලා තියෙනවා නේද?

ඔව්. ටෙලිනාට්‍ය කිහිපයක රඟපෑවත් මට ලැබුණෙ විවිධාංග චරිත ඉදිරිපත් කරන්න. මම එක රාමුවකට කොටු නොවීම ගැන මට ඇත්තටම සතුටුයි.

 

මේ හැමදේමත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද?

හොඳින් ගෙවනවා. ජීවිතේ ලොකු වැඩ කටයුත්තකුත් සිදුවෙමින් යනවා. ඒක ලංකාවෙ වාර්තාවකුත් වෙනවා. ඒ ගැන මම ඒ කාලෙට කියන්නම්.

 

ධනු විජේරත්න

 

 2018-01-12-ent-40

අදහස්(0) බැලූවෝ (897)

ටෙලි නාට්‍ය දහ අටකම රඟපාන්න බැහැ කිව්වා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :