2017 දෙසැම්බර් මස 12 වැනි අගහරුවාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

මම මේ වෙනකොට මළ සිරුරු හාරදාහක් කපලා තියෙනවා

2017 පෙබරවාරි මස 22 16:07:06 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

  04-Rasa-P2-05

 

“අලියා වැටුණු වැව සිටි හේරත්     හාමි
මා වැනියකු වුවද මම වැදගත්     වීමි
මිනී කපන මුත් ඒ හේරත්     හාමි
ඔහු මට වඩා විසි තිස් ගුණයෙන්     දෑමි”

 

වන්නියේ රාජකාරී ජීවිතයෙදී හමුවූ අපුරු ගැමි චරිතයක්  පිළිබඳව විමරත්න කුමාරගමයන් රචනා කල “හේරත් හාමි” කවි පෙළින් ඒ කවිය උදුරා ගත්තෙමි. අලියා වැටුණු වැව පෙදෙසේදී කුමාරගමයන්ට දැන හඳුනා ගැනීමට ලැබුණු ඒ “හේරත් හාමි” හා බොහෝ සේ සම වන චරිතයක් මට ද හමුවිය. ඔහු ද හේරත් කෙනෙකි. “ගැමි රසවිත” ට මම අද ඔහු කැඳවා ගෙන පැමිණියෙමි.


ගල්ගමුව, පොලිස් ස්ථානය ඉදිරිපිට පදිංචි එම්.හේරත් නම් වූ ඔහු සනීපාරක්ෂක කම්කරුවෙකු ලෙස වසර හතළිස් පහක් රජයේ රෝහල්වල කටයුතු කොට විශ්‍රාම ලැබුවෙකි. 


“ඔබගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ටිකකුත් සඳහන් කරමින් අපි විස්තර කථා කරමු නේද?”


මම හේරත් මහතාට යෝජනා කෙළෙමි.

04-Rasa-P2-04
“මගේ උපන් ගම ගල්ගමුව මී ඔය ප්‍රදේශයේ. ගල්ගමුව, පා`ළුමුව, පාළුකඩවල විද්‍යාලයට තමයි ඉස්කෝලේ ගියේ. මං ඉගෙන ගත්තේ හතරේ පංතියට විතරයි. විවාහ වුණේ රඹුක්කන ප්‍රදේශයෙන්. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. ඒ අය ඔක්කොම දැන් විවාහකයි. ඒ අය අද හොඳ තැනකට ඇවිත් ඉන්නවා.


“ඔබ රැකියාවට ගිය කාලය මතකද? මම ඇසුවෙමි.”


“ඔව් 1971 අවුරුද්දේ අගෝස්තු මාසයේ පළමු වැනිදා තමයි මුලින්ම රස්සාවට ගියේ. රඹුක්කන රජයේ රෝහලටයි මුල්ම පත්වීම ලැබුණේ. “කසළ ශෝධක කම්කරු” තමයි මගේ තනතුර වැසිකිළි බාල්දි ඇදීම, මළමිනී කැපීම, වාට්ටු පිරිසිදු කිරීම, මෘත දේහ මෝචරියට දැමීම, රෝහල් වත්ත පිරිසිදු කිරීම, අයිතිකරුවන් නැති මළ සිරුරු හා ගබ්සා වූ කළල භූමිදානය කිරීම වාගේ කටයුතු තමයි ඒ තනතුරට හිමි රාජකාරී”.


“ඒ නිසා මේ තනතුරට එදා කවුරුත් එන්නේ නෑ. දෙමළ ජාතික අය තමයි ගොඩක් එන්නේ. පස්සේ පස්සේ තමයි අපව බඳවා ගත්තේ. අධ්‍යාපන සුදුසුකම් බැලුවේ නෑ. මාසයකට මම ලැබුව වැටුප රුපියල් 45යි. අතිකාලත් එක්ක රුපියල් 50-55 ක් විතර ගත්තා. රජයේ සේවකයන්ටත් ඒ කාලේ කූපන් පොතට හාල් දුන්නනේ. ජීවන වියදමත් අඩුයිනේ. ඒ නිසා ඒ වැටුප ජීවත් වෙන්න ඇති.


“ඒ කාලේ ඉස්පිරිතාලවල රජයේ කාර්යාලවල, නිල නිවාසවල තිබුණේ වැසිකිළි බාල්දි වැසිකිළියේ කට තියෙනවා. යටින් බාල්දිය තියෙනවා. ඒ බාල්දිය ඇතුළු කරන්නයි, එළියට ගන්නයි ටිකක් ලොකු හිලක් (කවුළුවක්) තියෙනවා. අපි ඒ බාල්දිය එළියට අරන් මල ද්‍රව්‍ය වෙන භාජනයකට දාලා අර බාල්දිය සෝදලා නැවත ඇතුළේ තියෙනවා. අර ඉවත් කරපු මල ද්‍රව්‍ය සහිත භාජනය ඉස්පිරිතාලේ තැනක තියනවා. නගර සභාවෙන් හරි ගම්සභාවෙන් හරි ඇවිත් ඒවා අරන් යනවා. මං ගල්ගමුවට එනකොටත් තිබුණේ බාල්දි වැසිකිළි. 1973 අවුරුද්දේ විතර තමයි පෝච්චි වැසිකිළි ඉදිකරන්න පටන් ගත්තේ”.


“මං කුරුණෑගල ඉස්පිරිතාලේ වැඩ කරද්දි සතියකට මළ සිරුරු හතළිහක්- පනහක් විතර භූමිදානය කරනවා. අයිතිකාරයන් නැති මළ සිරුරු, ඇඹෝෂන්වලින් මියගිය හා මළ දරු උපත් වාගේ ඒවා තමයි එහෙම රෝහල මගින් වළ දාන්නේ. අපි ඒ මිනී කරත්තයකට පටවා ගෙන සුසාන භූමියට අරන් ගිහින් එක වළක් කපලා භූමිදානය කරනවා. දැන් නම් ඒ වාගේ මිනී වළදාන්ට ග්‍රාම සේවක මහත්තයාට රජයෙන් මුදල් දෙනවා. එයා කවුරු හරි යොදවා ඒ කටයුත්ත කරනවා. ඉස්සර මේ රස්සාව හරිම දුෂ්කරයි. දැන් නම් එහෙම නෑ.”

04-Rasa-P2-03
“ඔය තනතුර දරන හැමෝටම මළමිනී කපන්න පුළුවන්ද?” මම හේරත් මහතාගේ කථාව වෙනත් පැත්තකට යොමු කෙළෙමි.


“එහෙම බෑ. ඒකට පුහුණුවක් ඕන. මං මාස තුනක් කෑගල්ල මහ රෝහලේ පුහුණුව ලැබුවා. දොස්තර මහත්වරු, පරණ කටර්ලා (මළ සිරුරු කපන්නන්) තමයි ඒ පුහුණුව දෙන්නේ. දොස්තර මහත්වරු කියන විදියට සිරුරු කපන්න ඕන.”


“මළ සිරුරක් කපන්න කළින් බාහිර ලක්ෂණ බලනවා. ඇඳුම, ඒවායේ පාට, සපත්තු, හිසකෙස්, රැවුල වැවිලද, ඇඳුම් ඉරිලද, අතපය, ආභරණ වාගේ දේවල් බලන්න කියනවා. දොස්තර මහත්තයා ඒවා සටහන් කර ගන්නවා. කමිසය හරි වෙන ඇඳුමක් හරි ඉරිලා නම් ඒ දිග මනින්න කියනවා. ඊළගට තමයි ඇඳුම් ඉවත් කළාම දොස්තර මහත්තයා කියනවා ශරීරයේ තුවාල, කැළැල් තියෙනවාද බලන්න කියා හිස කෙස්වල දිග, කටේ උඩු ඇන්දේ හා යටි ඇන්දේ දත් කීය ගාණේ තියෙනවාද, ඇඟිලි කීයද, අසූචි ගිහින්ද ඔය වාගේ දේවල් බලන්න කියලා ඒවා දොස්තර මහත්තයා සටහන් කර ගන්නවා. මළ සිරුර අයිතිකරුවන්ගෙන් මරණය ගැන තොරතුරු ඇහුවම කපන එක පහසු වෙනවා. අවශ්‍ය කොටසට යන්න පුළුවන්”.


“මළ සිරුරක් කපද්දි මුලින්ම බෙල්ලේ සිට තුනටිය දක්වා උඩු පැත්තෙන් පලනවා. ඊට පස්සේ මස් ඔක්කොම දෙපැත්තට ඉවත් කර ගන්නවා. ඊළගට පිහියෙන් කපන්න පුළුවන් ඉල ඇට කපලා ඒවා තුවාල නොකර පන්නා ගන්ඩ ඕන. දිවත් සමග හෘදය වස්තුව, වකුගඩු, බඩවැල්, ආමාශය, ඇලදිව ඔය හැම එකක්ම එළියට ගන්ඩ ඕන. වෛද්‍යවරයා කියන කොටස් අරන් දෙන්න ඕන. මැහිතෙල් (කෘමිනාශක) බීලා මැරුණු එකක් නම් පෙණහලු ආමාශය තමයි අරන් කපන්න කියන්නේ”.


“බෙල්ල මිරිකලා මරලා වාගේ සැකයක් ඇති මිනියක් කපන්නේ පපුවේ සිට උඩට ඉංග්‍රීසි .ඪ. (වී) අකුරේ හැඩයට එහෙම කපලා තල්ලෙන් උඩට දාන්න ඕන. එල්ලලා මරපු මිනියක් නම් දිව පිටට ඒමේ ගතිය අඩුයි. කකුල්වල යටි පතුල කොටස සාමාන්‍ය විදියට තියෙන්නේ. ඒ කියන්නේ අපි ගමන් කරන විට පාද තියෙන්නේ. ඒ විදියට. නමුත් එල්ලිලා මැරුණ අයෙකුගේ පාද පල්ලෙහාට ඇදෙනවා. ඇයි පොළොවේ අඩිය ගහන්නනේ බලන්නේ. ඔය ලකුණෙන් මරණයට හේතු දක්වන්න බලනවා”.


“දියේ ගිලි මිය ගිය අයෙකුගේ නම් සිරුර කපලා මුලින්ම බලන්නේ පෙණහලු. වෛද්‍යවරයා කියනවා. පෙණහලු පුංචි පුංචි කෑලිවලට කපන්න කියා. එහෙම කැපුවාට පසුව ඒ කෑලි පිරිසිදු වතුර භාජනයකට දානවා. ඒවා හොඳට සෝදලා පෙණහලු කෑලි ටික ආපහු අයින් කරනවා. භාජනය ඇල කරලා වතුර ටික ටික හලන්න කියනවා. වතුර ඔක්කොම ඉවත් වුණාම පස්සේ වැලි, කෙඳි කෑලි, පාසි කෑලි වාගේ දේවල් අන්තිමට ඉතිරි වෙනවා. වතුර පෙවිලා මැරුණනම් එහෙම තියෙන්න ඕන. මොකද වතුරකට වැටුණාම යට යනවා. යට ගියාම අතට අහුවෙන දේ අල්ලා ගන්නවා. පොළොව හරි බදා ගන්නවා. මරලා දාලා ද, වතුර පෙවිලා මැරුණද කියලා බලන්නේ එහෙමයි”.


“ඉස්සර අද වාගේ නෙමෙයි. කපන්න ඕන මළ සිරුරක් නම් ඒ සිරුර තිබුණු තැනට යන්න ඕන. කැළේක, ගඟක්, ඇළක්, දොළක්, වැවක් ළඟද කියලා නෑ. මිනිය උස්සන්න බෑ. එතැනට මැස්සක් ගහලා මිනිය කපන්න ඕන. මිනිය හවස දෙකට තුනට සොයා ගත්තා නම් හවස වෛද්‍යවරයාට යන්න බෑනේ. හවස හයෙන් පස්සේ මිනි කපන්නෙත් නෑනේ. ඒ නිසා පහුවදා වෙනතුරු මිනිය රකින්න ඕන. මිනිය කපලා වෛද්‍යවරයාට මරණයට හේතුව තීරණය කරන්න අපහසු වුණොත් සිරුරේ කොටස් කපලා රජයේ රස පරීක්ෂකට යවන්න පොලීසියට බාර දෙනවා. 


 “1988-89 කළබල කාලයේ සිට තමයි මළ සිරුරු රෝහල් වෙත ගෙනියන්න පටන් ගත්තේ. පොලීසියට ඒවා රකින්න බැරි තත්ත්වයක් එදා තිබුණානේ. ඔය කළබල කාලයේ මං දවසකට මිනී දහයක් විතර කපලා තියෙනවා. වෙඩි තියලා, පුච්චලා මරපු මිනී තමයි වැඩිපුර එදා කපන්න වුණේ. මගේ සේවා ජීවිතය තුළ මළ සිරුරු 4000ක් විතර කපලා ඇති.”


“ඔබ කපාපු මළ සිරුරු අතර විශේෂ පුද්ගලයන්ගේ සිරුරුත් ඇති නේද?” මම ඔහුගෙන් ඇසුවෙමි. 


“ශ්‍රීපති සූරියආරච්චි හිටපු මන්ත්‍රීතුමා රිය අනතුරකට පත්වුණේ ගල්ගමුව ලීකොළවැව ප්‍රදේශයේදී. තුවාලකරුවන් තඹුත්තේගම රෝහලට තමයි අරන් ගිහින් තිබුණේ. ඒ අනතුරින් මන්ත්‍රීතුමා, ආරක්ෂක නිලධාරියෙක් මිය ගිහින් තිබුණා. ඉහළ සෞඛ්‍ය නිලධාරීන් මේ මළසිරුරු රෑම කපන්න ඕන කියලා තීරණය කරලා තියෙනවා. ඒත් තඹුත්තේගම රෝහලේ කටර්මන් (මිනීකපන්නා) එදා ඉඳලා නෑ. පස්සේ තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරයා ගල්ගමුව රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිතුමාට දන්වා තිබෙනවා කටර්මන් එවන්න කියලා. එතකොට රෑ අටට විතර ඇති.”


“මට ත්‍රී වීල් එකක් හයර් එකට අරන් එන්න කියලා දැනුම් දීලා තිබුණා. මං රෑම ගියා. මිනී කපන්න ගන්න කොට රෑ දහයට විතර ඇති. ශ්‍රීපති සූරියආරච්චි මන්ත්‍රීතුමාගේ කොඳු ඇටය දෙකට කැඩිලා තිබුණා. ඉළ ඇටත් කැඩිලා. පෙණහලු හිල්වෙලා, තුවාල වෙලා. ලේ ඇතුළට බැහැලා තිබුණා. ආරක්‍ෂකයාගේත් මූණට බරපතළ හානි වී කැඩී තිබුණා. එදා රෑ මං මිනී තුනක් තඹුත්තේගම රෝහලේදී කැපුවා.”


“ඔබ කීවා රාත්‍රී කාලයේ මළසිරුරු කපන්නේ නෑ කියලා. මට මතු වූ ප්‍රශ්නයක් හේරත් මහතාට යොමු කළෙමි.” “ඇත්ත. නමුත් විශේෂ පුද්ගලයන්ගේ මළ සිරුරු කපා පරීක්‍ෂණ පැවැත්වීමට ඉහළ නිලධාරින් තීරණය කරනවා.”


“විමලරත්න කුමාරගම කවියාගේ ‘හේරත් හාමි’ කියලා. කවි පංතියක් තියෙනවා. ඒකෙත් ඔබ වාගේ චරිතයක් ගැන තමයි කියැවෙන්නේ. ඔබ ඒ කවි පංතිය අහලා තියෙනවාද? ඒ කවි පංතියේ කවියක තියෙනවා,


නැගණිය මළ විටදි දොස්තර සමඟ    ගොසින්
ඇගෙ කය කපන ලදි හේරත්හාමි    විසින්


කියලා. මේ වාගේ අත්දැකීමකට ඔබ මුහුණ දීලා නැද්ද?’යි මම ඇසුවෙමි.”


“මං විශ්‍රාම ගිය දවසේ ගල්ගමුව ඉස්පිරිතාලේ කාර්ය මණ්ඩලය පුංචි සමුදීමේ උත්සවයක් කළා. එකේදි අපේ මහත්තයෙක් ඔය කවි පංතිය කීවා. ඒ නිසා කවි පංතිය ගැන ටිකක් දන්නවා. නංගිලාගේ, අක්කලාගේ මළ සිරුරු කපා නැති වුණත් ඒ හා සමාන අත්දැකීමක් තියෙනවා. ඒ මගේ නංගිගේ සැමියාගේ මළ සිරුර කපන්න මට සිද්ධ වුණා. එයා වැඩ කළේ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ. බස් එකකට හැප්පිලා මිය ගියා. සිරුර කපන්න වෙන කෙනෙක් හිටියේ නෑ. මං නොකැපුවොත් සිරුර කුරුණෑගල යවන්න වෙනවා. ඒ නිසා මං ඉදිරිපත් වෙලා සිරුර කැපුවා. දුකක් දැනුණා. ඒත් කරන්න එපැයැ. අනික අපටත් මරණය අත් වෙනවා නේ.”


“ඔබ මළ සිරුරු විශාල සංඛ්‍යාවක් සේවා කාලය තුළ කපලා තියෙනවා. ඒ කටයුතුවලදි අමතක නොවන අත්දැකීම් එහෙමත් ඇති. ඒ එකක් දෙකක් ගැනත් කථා කරමුද?.” පෙර කථාව ගැන කියද්දි සංවේදී වූ හේරත් මහතාගේ අවධානය වෙනත් අතකට මම යොමු කෙළෙමි. 


“දවසක් තරුණයෙකුගේ මළ සිරුරක් ගල්ගමුව රෝහලේ මෝචරියට ගෙනාවා. වෛද්‍යවරයාට පසුදින උදේම ගමනක් යාමට තිබුණ නිසා හවස මිනිය කපන්න තීරණය කළා. මිනිය කපලා පරීක්‍ෂණය ඉවර වෙන කොට රෑ හතට විතර ඇති. ඊළඟට කපපු සිරුර මහලා හදන්නත් ඕනනේ. මියගිය තරුණයාගේ තාත්තා විතරයි එතැන හිටියේ. එයා මෝචරියේ ජනේලය ළඟ වාඩි වෙලා හිටියා. මං සිරුර මහමින් සිටින විට ලයිට් ගියා. විනාඩි පහකින් විතර ලයිට් ආවා. එතකොට අර තාත්තා නෑ. මං එළියට ගිහින් බලද්දි එයා මෝචරිය ළඟ සිට සැතැපුම් කාලක් විතර දුරකට දුවලා ගිහින් ගහක් යට හති අරිනවා. මං ගිහින් ඇහුවා ඇයි දිව්වේ කියලා. එයා කියනවා බය හිතුණ නිසා දිව්වා කියලා. මැරිලා ඉන්නේ ඒ තාත්තාගේ පුතා. ඒත් බය හිතුනලු!”


“ආයෙ දවසක් මිනියක් කපන කොට ඒ මළ සිරුර අයිති නෑදෑයන් පිරිසක් මෝචරියට අරක්කු බෝතල් වගයක් ගෙනාවා. මටත් බොන්ඩ කථා කළා. මං ජීවිතේට අරක්කු බීලා නෑ. පස්සේ ඒ අය බොන්ඩ පටන් ගත්තා. මං මිනිය කපලා මහන කොට ශබ්දය වැඩියි. මං ඒ අයට කථා කරලා කීවා ‘මේක රජයේ ආයතනයක්. මෙතැන බීලා කළබල කරන්න එපා’ කියලා... ඒත් ඇහුවේ නෑ. ටික වේලාවකින් කට්ටිය ගහගන්නවා. මට කේන්ති ගියා. මං ග්ලවුස් (අත් ආවරණ) දාගෙන තමයි මිනිය මහමින් හිටියේ. මිනී කපන පිහියත් අරන් මං එළියට ආවා. ඒ ඇවිත් ‘උඹලා ගෝරිය නතර කරලා මෙතැනින් යනවාද, නැද්ද. එහෙම නැත්නම් උඹලා එකෙක් දෙන්නෙක් බාවල මෝචරිය ඇතුළට ගන්ඩද?’ කියලා මං කීවා.”


“එතැන හිටපු අයෙක් අනිත් අයට කියනවා, ‘දැන් නම් මිනී කපන එකාට තරහ ගිහින් තියෙන්නේ. ඕකා නාහෙට අහන්නේ නැති එකෙක්. අපි කපයිද දන්නේ නෑ. යමල්ලා යන්න” කියා ඉක්මණින්ම මාරු වෙලා ගියා.”


විමලරත්න කුමාරගමයන්ට හමුවූ හේරත් හාමි හැමදා වගේ සවසට ගිනි වතුර බීවත් මට හමුවූ හේරත් ජීවිතයේ කිසි දිනක ගිනි වතුර (මත් වතුර) තබා බීඩියක්, සිගරට්ටුවක් හෝ පානය නොකළ තැනැත්තෙකි. 


“ගල්ගමුව සති පොළේ වෙළෙඳාම් කරන්න ආපු තේ කුඩු වෙළෙන්දෙක් හදිසියේ මිය ගිහින් ගල්ගමුව රෝහලට ගෙනාවා. එයා කෑගල්ල පැත්තේ. එයාගේ පුතාලා කෑගල්ල මාර්කට් එකේ බිස්නස් කරන අය. මේ පුතාලා මිනිය අරන් යන්න ගල්ගමුවට වාහනයකින් ආවා. ඒ කාලේ හිටපු හදිසි මරණ පරීක්‍ෂකගේ ගෙදරට යන්න මං විස්තර ඒ අයට කීවා. ඒ අනුව හදිසි මරණ පරීක්‍ෂක සොයා ගෙන එක්ක ආවා. පරීක්‍ෂණය කළා. සාක්‍ෂිවලින් ඔප්පු වෙනවා හෘදයාබාධයකින් මිය ගිය බව. ඥාතිනුත් කියනවා මිනිය කපන්න ඕන නෑ කියලා. ඒත් මරණ පරීක්‍ෂක මිනිය කපන්න ඕන කියලා කල් මරනවා. ඥාතින් අදි මදි කරනවා.”


“කොහොම හරි අන්තිමට මිනිය නොකපා බාර දෙන්න තීරණය කළා. මං සිරුර වාහනයට දාලා දුන්නාම කොරනෙල් මහත්තයයි, අපේ කම්කරුවෙකුයි වාහනයට දාගෙන ගියා.”


“මෙන්න පැය භාගයකට විතර පස්සේ දෙන්නා ඇවිත් ‘තෝ තමයි මේ ඔක්කොම දේවල් කෙරුවේ. බලු වැඩ කරන්න එපා යකෝ. තොට මේකේ ඉන්න දෙන්නේ නෑ.’ කියලා මට බලු බැනුම් බණිනවා. මාත් ශබ්දයක් නැතිව අහගෙන හිටියා. පස්සේ තමයි දැන ගත්තේ අර මළ සිරුරේ අයිතිකාරයන්ගෙන් කොරනෙල් මහත්තයා සල්ලි ඉල්ලා තියෙනවා. සල්ලි දෙනවා කීවාට පස්සේ තමයි මිනිය නොකපා දීලා තියෙන්නේ. මුලින් අරක්කුත් ගෙනත් දීලා.

කොහොම හරි වෙළෙන්දා පොළේ හිටපු තැන එයාගේ සල්ලි තියෙනවා කියලා ඒවා අරන් කොරනෙල් මහත්තයාට දෙන බව පවසා පොළට එක්ක යන මුවාවෙන් මගට එක්ක ගිහින් දෙන්නටම දෙකක් හොඳහැටි දීලා (පහර දී) වාහනයෙන් බිමට ඇද දාලා මිනියත් අරන් ඒ අය ගිහින්. ඒ කේන්තියට තමයි මට ඇවිත් බැන්නේ. ඒ කොරනෙල් මහත්තයාගෙන් හරියට මිනිස්සුන්ට හිරිහැර වුණා.”


“සමහර අය හදිසි මරණ පරීක්‍ෂකවරුන්, පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදුකරන වෛද්‍යවරුන් නොමඟ යවන්න යම් යම් උපාය යොදනවා නේද? ඔබේ අත්දැකීම් අතර එවැනි සිද්ධි නැද්ද?” මම හේරත් මහතාගෙන් ඇසුවෙමි.


“ඒ වාගේ එක සිද්ධියක් ගැන මං කියන්නම්. කුරේටර් (කෘමි නාශක කැට වර්ගයක්) කාලා කාන්තාවක් මියගියා කියලා හදිසි මරණ පරීක්‍ෂණයක් තියලා තියෙනවා. ඒ කාන්තාව වමනය කරපුවා කාපු බලු පැටියෙකුත් මැරුණා කියලා මියගිය කාන්තාවගේ සැමියා සාක්‍ෂියේදී කියලා තියෙනවා. මැරුණු බලු පැටවෙකුත් ඉඳලා තියෙනවා. ඒත් මරණ පරීක්‍ෂකට මේ මරණය ගැන සැක හිතිලා දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණයකට යොමු කළා.”


“මළ සිරුර ගල්ගමුව රෝහලේ මෝචරියට ගෙනාවා. මූලික කටයුතු ටික කරලා මං මිනිය කපන්න ලෑස්ති වුණා. එතකොටම මං දැක්කා බෙල්ලේ ලොකු තැල්මක් තියෙනවා. මං දොස්තර මහත්තයාට කීවා. “සර් බලන්න මේක මර්ඩර් එකක් වගේ” කියලා. දොස්තර මහත්තයත් ඒක බලලා කුරුණෑගල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට දැනුම් දුන්නා. මළ සිරුර කුරුණෑගලට එවන්න කීවා.”


“ඒක ගෙල සිරකර කළ මරණයක් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තහවුරු වුණා. සැමියයි, බිරිඳයි රණ්ඩු වෙලා මිනිහා ගෑනිට ගහලා බිම දාලා බෙල්ල පාගාගෙන ඉඳලා තියෙනවා. හුස්ම හිරවීමෙන් ඇය මියගිහින් මැරුණට පස්සේ මිනිහා කරලා තියෙන්නේ ගෙදර තිබුණ කුරේටර් ඇට බත් එක්ක අනලා බලු පැටියට දීලා. ඒවා කාපු බලු පැටියා මැරිලා. කොහොම හරි මිනීමැරීමේ චෝදනාව මත අර සැමියාව අත්අඩංගුවට අරන් නඩු පවරලා තියෙනවා.” 


“ඔබ දැන් විශ්‍රාමිකයි. රැකියාව ගැන ආපසු හැරී බලද්දි මොනවද හිතෙන්නේ.”


“මිනී කපන එක දුෂ්කර කටයුත්තක්. ඒත් මං අසරණ වෙන මිනිස්සුන්ට සේවයක් කළා කියා හිතනවා. සමහර අවස්ථාවල මං කළ සේවයට කෘතගුණ දැක්වූ සිද්ධිත් තියෙනවා.”


“දවසක් මං ගල්ගමුවේ මහජන බැංකුවට ගියා ණය මුදලක් ලබා ගන්න. ඉඩමේ ඔප්පුවත් අරන් ගියා. ණය අංශයෙන් මාව මැනේජර් මහත්තයා ළඟට යැව්වා. එතුමත් වැඩ කරන ගමන්ම ‘ඇයි මොකද කාරණාව’ කියලා මගෙන් ඇහුවා. මං කීවා මල්ශාලාවක් පටන් ගන්න ණයක් ගන්න කියලා.” 


“මැනේජර් මහත්තයා ඔප්පුව අතට අරන් බලලා “හේරෝ උඹට කරන්නේ නැති උදව්ව මං කාට කරන්නද” කියලා කීවා. මං උඩ ගියා. “ඇයි සර් එහෙම කියන්නේ” කියලා මං ඇහුවා. ඒ මහත්තයා මහව පදිංචි කෙනෙක්. දැනුම් තේරුම් ඇති කාලය වන විට එයාගේ තාත්තා හෘදයාබාධයකින් මියගිහින්. මහව රෝහලේදී තමයි මිය ගිහින් තියෙන්නේ. ඒ සිංහල අලුත් අවුරුදු දවසේ. මළ සිරුර කපන්න මහව රෝහලේ කටර්මන් නෑ. එතුමා ඔය කථාව කියල කොට තමයි මටත් මතක් වුණේ. අලුත් අවුරුද්ද ලබන්න තිබුණේ හරියටම පැයයි. ඒත් මං බස් එකක නැඟලා ගිහින් ඒ මළ සිරුර කපලා දුන්නා. ඒ ගැන එදා පොඩි ළමයෙකුව සිටි මැනේජර් මහත්තයාට මතක තිබිලා තියෙනවා. මට ණය මුදල ඉක්මණින් ලබා දුන්නා. ඔය වාගේ හේතු නිසා මගේ සේවය ගැන සතුටක් ලබනවා.”


“ඒ වාගේම මගේ රාජකාරි ජීවිතයේදී මට ගොඩාක් උදව් කළ හදිසි මරණ පරීක්‍ෂක මහත්තයෙක් තමයි ගල්ගමුවේ ආනන්ද කෙම්පිටිය මහත්තයා. ගල්ගමුව ඉස්පිරිතාලේ මුල් කාලයේ හිටපු සෝමසුන්දරම්, රගුපති දොස්තර මහත්වරු මෑත කාලයේ හිටපු උපාලි සිරිමාන්න, ඩී.පී. වික්‍රමසිංහ, ආරියරත්න දොස්තර මහත්වරුත් මං සිහිපත් කරන්න ඕන. මේ අය හරිම හොඳයි. මිනිස්සු රස්තියාදු නොකර හදිසි මරණ පරීක්‍ෂණ හා පශ්චාත් මරණ පරීක්‍ෂණ සිදු කළා.”


එම්. හේරත් නැතහොත් ප්‍රදේශවාසීන් හඳුනන “හේරත් අයියා” සමඟ කළ මේ සටහන අවසන් කිරීමට කුමාරගමයන්ගේ “හේරත්හාමි” කවි පෙළේ මේ කවිය උචිත යැයි මම සිතුවෙමි. 


“ගොවි කම්කරු රදල උඩරට කිසිම     කුලේ
වෙන කිසි කෙනෙක් තව නැත මේ වැඩය     කෙළේ
දැන ගන්නට කිසිදු වරදක් නොමැත     මොළේ
කිසි අනතුරක් නොකරයි කිසිවෙකුට     කැලේ”

m

 

අදහස්(8) බැලූවෝ (8027)

මම මේ වෙනකොට මළ සිරුරු හාරදාහක් කපලා තියෙනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ධම්ම 2017-02-22 16:39:04

වෘත්තීය ගරුත්වය රැකගෙන රාජකාරිය දේවකාරියක්සේ සළකා කටයුතුකළ ඔබතුමාට අපගේ ආචාරය! (නි)

ශශී 2017-02-22 17:37:13

ඔබතුමා රටට කළ සේවය ඉතා උතුම්. ඔබට දීර්ඝායුෂ පතමි. (නි)

මාලක 2017-02-23 01:46:07

හේරත් මහත්මයාණනි, ඔබේ කැපවීමට සහ අවංක සේවයට ස්තුතියි! මෙන්න විශිෂ්ට රජයේ සේවකයෝ. සැමට ආදර්ශයක්. ඔබතුමාට නිදුක් නීරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමි (නි)

දිලුම් 2017-02-23 04:34:05

ඔබ වැනි යහපත් ගුණගරුක උතුමන් අද රාජ්‍ය සේවයේ හරිම හිඟයි. එහි අගතිය අපි හැමෝම අත්විදිනවා. ඔබතුමාට හා පවුලේ සැමට නිදුක් නිරෝගි සුවය හා දීර්ඝායුෂ පතමි. (ම)

රිෂාද් 2017-02-23 10:34:36

අපගේ උත්තමාචාරය.(ම)

උපුල් 2017-02-23 16:49:02

හදවතට දැනෙන රාජකාරියක් (නි)

ද සිල්වා බෙර්ලින් 2017-02-23 22:38:43

ලෝකයේ දියුණු රටවල මරණ පරීක්ෂණ කරන්න මිනීකපන්නේ දොස්තරලා තමන්ගේ අත්දෙකෙන්. එතකොට මළ සිරුරේ තිබෙන වෙනස්කම් හොඳට දැනෙනවා. ලංකාවේ ඉන්න දොස්තරලාට වෙන මනුස්සයකුගේ උදවුවක් නැතුව තම රාජකාරියවත් කරගන්න බැහැ. නමුත් වෛද්‍ය සභාව මහා ලොකුවට කතාකරන්නේ දොස්තරලගේ ප්‍රමිතිය ගැන (නි)

සිරිවර්ධන 2017-02-26 11:06:30

එවන් පුද්ගලයින් සිරිලකට කීර්තියක් අද මියයන්නට කලින් කපන්න ඕන තරම් අය සිරිලකේ සිටින නිසා (අ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :