2017 ජූලි මස 29 වැනි සෙනසුරාදා

2017-02-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.60 , විකුණුම් මිල රු.153.48 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.27 , විකුණුම් මිල රු.191.52 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.34 , විකුණුම් මිල රු.163.47 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.31 , විකුණුම් මිල රු.153.27 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.69 , විකුණුම් මිල රු.117.26 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.88 , විකුණුම් මිල රු.119.05 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.01 , විකුණුම් මිල රු.109.96 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3225 , විකුණුම් මිල රු.1.3737 |

අදටත් ඌව රකින කිවුලේගෙදර දෙවියෝ

2017 පෙබරවාරි මස 08 16:30:12 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

   04-Rasa-p1-9

කන්දකැටිය කිරිවෙහෙර චෛත්‍යය

   

 

විකුම් සිහල පරපුර සිහිතිබෙන තුරූ
උතුම් රාජ ලේ ටික මගෙ සිඳෙන තුරූ
නෙතින් කඳුළු නොහලමි දිවි තිබෙන තුරූ
ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරූ

 

සිංහල රාජධානියේ අවසන් රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අපේ දේශය දෙස බලාගෙන එසේ පැවසුවේ 1815 පෙබරවාරි 8 වැනිදා. කොලොම් තොට සිට දකුණු ඉන්දියාව බලා යාත්‍රා ගමන ආරම්භ කළ බි්‍රතාන්‍ය නෞකාවක සිටය. රජතුමා සුද්දන්ගේ අත්අඩංගුවට පත්වූයේ බල කාමයෙන් මත්වූ අපේ සිංහලයන් නිසාය. අපේ රට මහා බි්‍රතාන්‍යයේ යටත්විජිතයක් විය. එහෙත් දේශප්‍රේමීහු සුදු පාලනයට විරුද්ධව සන්ධාන ගතවූහ. 


සුද්දන් කැරලි ලෙස හඳුන්වන විමුක්ති අරගල ආරම්භ වූයේ ඉන් පසුය. පළමු නිදහස් අරගලය ලෙස ඉතිහාස ගතවන්නේ 1817 - 1818 නිදහස් සටනයි. දේශප්‍රේමීන් දහස් ගණනක් රට වෙනුවෙන් දිවිපිදූ මේ නිදහස් සටනට නායකත්වය දුන්, වීර මොනරවිල කැප්පෙටිපොළ ප්‍රමුඛ විරුවන් 19 දෙනෙකු කැරැලි ගැසීමේ චෝදනාවට වරදකරුවන් කළ ඉංග්‍රීසි ආණ්ඩුව ඔවුන් රාජ ද්‍රෝහීන් ලෙස නම් කළහ. ඇතැමුන් මරා දැමූහ. ඇතැමුන් සිරගත කළහ. ඇතැමුන් රටින් පිටුවහල් කළහ. 

04-Rasa-p1-6
වසර 199කට පසු හෝ එම වරද නිවැරැදි කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොබෝදා කටයුතු කළේය. 


මේ සියලු දෙනා නිවැරැදිකරුවන් කරමින් ඔවුන් දේශද්‍රෝහීන් බවට නම්කළ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා 1818 ජනවාරි 10 වැනිදා අත්සන් තැබූ ගැසට් පත්‍රය අහෝසි කළ ජනාධිපතිතුමා විසින් ඔවුන් සියලු දෙනා ජාතික වීරයන් ලෙස නම් කරනු ලැබීය. බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිවුලේගෙදර විසූ කිවුලේගෙදර මොහොට්ටාල වීරයාද ඒ අතර කෙනෙකි. 


1948 පෙබරවාරි මස 4 වනදා අපට ලැබුණු බව කියන නිදහස සැමරීමට මුළු රට පෙළ ගැසෙද්දි එම නිදහසට පාර කැපූ විරුවන් අතර කෙනකු වූ කිවුලේ ගෙදර මොහොට්ටල සොයා ගිය අපට කිවුලේගෙදර දෙව රූපයද හමුවිය. ඒ කතාවද සැබැවින්ම ආස්වාද ජනකය. බදුල්ල - මහියංගණය මාර්ගයේ කන්දකැටිය 21 හන්දියෙන් හැරී කිවුලේගෙදර ගම්මානය සොයා යද්දි නෙත ගැටුන දුලබ හැඩයක චෛත්‍යය නෙතට රසඳුනක් විය. 


එම ඓතිහාසික විහාරස්ථානය හඳුන්වන්නේ කිරිවෙහෙර නමිනි. දෙවන පෑතිස් රජදවස ඉදිකළ බව ඉතිහාස කථාවල සඳහන් වෙයි. කිවුලේගෙදර මොහොට්ටාල විරුවා මෙන්ම වියලුවේ විසූ දස මහ යෝධයන් වූ වේලුසුමන හා සුරනිමල මෙම විහාරස්ථානය ඇසුරේ හිඳිමින් එය දියුණු කළ බව ඉතිහාසයේ සඳහන් වන්නේ යැයි කිවුලේ ගෙදර පදිංචි විශ්‍රාම ලත් විදුහල්පතිනි අයිරින් චන්ද්‍රා රාජපක්ෂ මහත්මිය පැවසුවාය. එම විහාරස්ථානයට ගිය අපට දැක ගන්නට ලැබුණේ කිරි වෙහෙර චෛත්‍ය ඉදිරියේම පිහිටි කිවුලේගෙදර ගම්බාර දේවාලයයි. එම දෙවොලේ කිවුලේගෙදර ගම්බාර ගෙදර දෙවියන්ගේ රූපයකි. ඒ ආසන්නයේම කිවුලේගෙදර මොහොට්ටාල විරුවාගේ රූපයකි. මේ දෙදෙනාම දේවත්වයෙන් සලකා වැඳුම් පිදුම් කරන බව අසන්නට ලැබුණි.

කෙසේ නමුත් කිවුලේගෙදර මොහොට්ටාල විරුවාම දේවත්වයෙන් සලකා කිවුලේගෙදර ගම්බාර දෙවියන් යැයි වැඳුම් පිදුම් කරන බවත්, ඒ දෙදෙනා දෙදෙනෙකු නොව එක් දෙවියෙකු බවත් සමහරු කියති. එහෙත් තවත් සමහරු කියන්නේ ඒ දෙදෙනා දෙදෙනෙකු බවය. ජනප්‍රවාද ඔස්සේ ඒ තතු සොයා යාමට අපි අමතක නොකළෙමු. 


මොහොට්ටාල යනු කවරෙක්ද? 04-Rasa-p1-8
මොහොට්ටාල යනු දිසාවේට පමණක් දෙවැනි වූ තානාන්තරයකි. එම නිලය කෝරාලට වඩා ඉහළය.


කිවුලේගෙදර මොහොට්ටාල යනු කවුරුද?
කිවුලේගෙදර මොහොට්ටාලගේ නම පුංචි බණ්ඩා බවත්, ඔහු නිලය නිසා කිවුලේගෙදර මොහොට්ටාල වූ බව කියන නමුදු එය සනාථ කිරීමට හෝ නමට වෙනත් නමක් සොයාගැනීමට අපහසු විය. එය ලේඛනවලද සඳහන්ව නොමැති බව බොහෝ දෙනා කියති. ඔහු ඉපදී ඇත්තේ කිවුලේගෙදර ගමේ ප්‍රභූ පවුලකය. කෙසේ නමුත් තම ග්‍රාමය කේන්ද්‍ර කොටගෙන දේශප්‍රේමී තරුණයන් සන්නද්ධ අරගලයට නැඹුරුකර ගැනීමට ඔහුට හැකි විය.


1818 උඩරට මහකැරැල්ල මෙහෙය වූ නායකයන් අතර කිවුලේගෙදර මොහොට්ටාල සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇත. ඔහු එම කැරැල්ලේ ආරම්භකයන් කීපදෙනාගෙන් කෙනෙකු වූවා පමණක් නොව, එහි අවසානය දක්වාම සටන් කළ කීප දෙනාගෙන් අයෙක් ද වූහ. දේශප්‍රේමී සටන්කරුවන් අතර, වලපනේ දිසාවේ තනතුර හෙබවූ හෙතෙම එම ප්‍රදේශයේ වැසියන් ඉංග්‍රීසි පාලනයට විරුද්ධව මෙහෙයවීමේලා මූලිකත්වය ගත් බව සඳහන් වෙයි. 
දන්ත ධාතූන් වහන්සේ සතුරන් අතට පත්නොවී ආරක්ෂා කිරීම සඳහා වරක් කිවුලේගෙදර මොහොට්ටාල දන්ත ධාතූන් වහන්සේ මෙම ග්‍රාමයේ සඟවා ආරක්ෂා කළ බවද ජනප්‍රවාදයකි. ඒ කන්දකැටිය කිරිවෙහෙරේ යැයි මතයකි. ගම්මානයේ ගල් ගුහාවක් තුළ දන්ත ධාතූන් වහන්සේ සඟවා ආරක්ෂා කළ බවටද ජනප්‍රවාදයකි. 


අපි දැන් ඉතිහාසයට එබිකම් කරමු. 
1815 ගිවිසුමේ සිංහල බෞද්ධයන්ට වාසිදායක වන කිසිදු කොන්දේසියක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි පාලකයෝ උත්සාහ නොගත්හ. සුදු පාලකයෝ අධිරාජ්‍යවාදී අණපනත් අඩුවක් නැතුව ක්‍රියාවට නඟන්නට වූහ. 

 

ඔවුහු සිතාමතාම සිංහලයන්ටත්, බොදු දහමටත් එරෙහිව කටයුතු කරන්නට වූ අතර, අන්‍ය ආගමිකයන්ට බෞද්ධයන් සතුව තිබූ නිලතල, තනතුරු පවරා දෙන්නට වූහ. නිලතල වරප්‍රසාද පතා සමහර රදල සිංහලයෝ සුදුපාලකයන්ගේ අතකොළු වූහ. එහෙත් ජාතික මාමක භික්ෂූන් වහන්සේ පිරිස හා ජනතාව මේ තත්ත්වයට එරෙහිව නැඟී සිටියහ. ඔවුන් සන්ධානගතවෙද්දි. සම්ප්‍රදායක් වශයෙන් සිංහලයන්ට උරුම වූ මුහන්දිරම් පදවිය ඉංග්‍රීසි පාලකයෝ හජ්ජි මරික්කාර් නම් මුස්ලිම් ජාතිකයකුට ලබාදී වෙල්ලස්සේ පාලනය සඳහා යැවූහ. මේ කාරණය සුදු පාලකයන් කෙරේ ඌව වෙල්ලස්ස තුළවූ වෛරය තවත් අවුළන්නක් විය. 


මේ හේතූන් නිසා 1817 ඔක්තෝබර් මාසයේදී ඌව වෙල්ලස්ස කැරැල්ල ආරම්භ විය. මඩුගල්ලේ, පිළිමතලාවේ ආදින්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ කැරැල්ල ඉතා ඉක්මනින්ම ප්‍රදේශය පුරා පැතිර ගියේය. කිවුලේගෙදර මොහොට්ටාල, 
බූටෑවේ රටේරාල, කොහුකුඹුරේ රටේරාල, මීගහපිටියේ රටේරාළ, ඇතුළු විරුවෝ රැසක් නොපැකිළිව, නොබියව එහි පෙරමුණ ගන්නට ඉදිරියට ආහ. මේ අතරින් කිවුලේගෙදර මොහොට්ටාල ද කැපී පෙනුණු වීර චරිතයක් විය. 

04-Rasa-p1-5

සොහොන විනාශ කර ඇති අයුරු


රජෙක් නොමැතිව සිටි සිංහලයන්ට සත්කෝරළයට අයත් පහළ දොළොස්පත්තුවේ විල්බාවේ මුදියන්සේ නොහොත් දොරේසාමි නමැත්තා රජෙක් මෙන් පෙනුණේය. තමන් රාජසිංහ පරම්පරාවෙන් පැවත එන බවත්, උඩරට රාජ්‍යයට උරුමකම් ඇති බවත් ඔහු කියා සිටියේය. වෙන කළ හැක්කක් නොවූ තැන, ජනතාව මහත් සතුටින් ඔහු තම රජතුමා ලෙස පිළිගත්හ. නැතිවූ නිදහස යළි අත්කර ගැනීම සහ සිංහලයේ කැරැල්ලට අර අඳින බවද රහස් ඔත්තු සේවා ඔස්සේ දැනගත් බදුල්ල උප දිසාපති මේජර් සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන් මහතා, විල්බාවේ අත්අඩංගුවට ගැනීමටත්, කැරැල්ල මැඩ පැවැත්වීමටත්, හජ්ජි මුහන්දිරම් යැව්වේය. 

dffh
රණශූරයකුවූ හජ්ජි මුහන්දිරම්ට සේනාවක් ද ලැබිණ. වෙල්ලස්සට ගිය මේ රණ ශූරයාගේ එඩි බිඳ ඔහු අත්අඩංගුවට ගැනීමට කැරලිකාරයෝ සමත් වූහ. 
හජ්ජි මුහන්දිරම් නැමති රණශූරයා ජීව ග්‍රහයෙන්ම අල්ලා කැරැලි නායක දොරේසාමි වෙත රැගෙන ගොස් අධිකරණ විනිශ්චයෙන් පසු මරණ දඬුවම දුන්නේය. මේ බව විල්සන් මහතාට දැනගන්නට ලැබුණේ සැප්තැම්බර් මස 12 වැනිදාය. ඉන් ලජ්ජාවට පත්වූ විල්සන් මහතා කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා තමාම යායුතු යැයි තීරණය කළේය. 


කාපිරි භටයන් විසි දෙනෙකු, සැරයන් වරු දෙදෙනෙකු, කෝප්‍රල්වරු දෙදෙනෙකුත් ලැස්කර් භටයෝ පිරිසකුත් තෝල්කයකු හා යුද නිලධාරියෙකුත් සහ බළඇණියක් සමඟ විල්සන් මහතා වෙල්ලස්සට යාම සඳහා ගමන ආරම්භ කළේය. එහිදී කැරැලිකරුවන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය. 


එහෙයින් ආපසු වෙනත් මඟකින් එන විට සිංහලයෙකු විසින් විදින ලද හී පහරකට ගොදුරුව බිබිල උණගොල්ල විහාරස්ථානයට නුදුරු ස්ථානයකදි මරණයට පත් විය. විල්සන්ගේ මෘත දේහය පවා දමා විල්සන්ගේ බළඇණියේ අය පලායන්නට වූහ. සමහරු මැරුම්කෑහ. මේ මෙහෙයුමේද රණශූර කිවුලේගෙදර මොහොට්ටාල ප්‍රබල චරිතයක් විය. තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙන බව දැනගත් සුදුපාලකයෝ හමුදා බළඇණි කීපයක් කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා මහනුවරින් පිටත් කිරීමට පියවර ගත්හ. 


ඒ සමගම ආණ්ඩුකාරවරයාගෙන් රට වැසියන්ට නිවේදනයක් නිකුත් කෙරිණ. එහි සඳහන් වූයේ දොරේසාමි නැමති කැරලි නායකයාට සහ ඔහුගේ පිරිසට උපකාර කරන අයට මරණ දඬුවම නියම කරන බවටය. 


දොරේසාමි අල්ලා දෙන කෙනෙකුට කුරුම් දෙදහසක තෑග්ගක් දෙන බවටද ඔහුගේ නෑදෑ කෙනෙකු හෝ නිලධාරියෙකු හෝ අල්ලාදෙන කෙනෙකුට කුරුම් පන්සීයක තෑග්ගක් දෙන බවටද ආණ්ඩුකාරවරයා නිවේදනය කළේය. 


එහෙත් කිසිවෙක් ඒ දේශද්‍රෝහි ක්‍රියාවට සම්මාදම් නොවූහ. 


කැරලි නායක දොරේසාමි ඊට ප්‍රතිචාර දක්වමින් රට වැසියන්ගෙන් ඉල්ලා සිටියේ, සෑම සුදු මිනිසකුම දුටු තැන මරා දමන ලෙසටය. මේ අතර කැරලිකරුවන් අත්අඩංගුවට ගෙන කැරැල්ල මැඬ පැවැත්වීමට මේජර් මැක්ඩොවල්ඞ්ගේ උපදෙස් මත බළංගොඩ හරහා එක් බළඇණියක්ද, තල්දුව ඔස්සේ තවත් භට  පිරිසක්ද වෙල්ලස්සට යැවීමට සුදුපාලකයෝ පියවර ගත්හ. 


මහ වැස්ස සමග පැතිරුණු ජල ගැල්ම ඔවුන්ගේ ගමනට විශාල බාධාවක් විය. 


භට හමුදාවන් කිවුලේගෙදරට ළඟාවෙත්ම මහා ඊතල වරුසාවක් ඇතිවිය. 

Untitled-4
වැද්දන්ගේද සහයෙන් එල්ල වූ මෙම ඊතල ප්‍රහාරවලින් ඉංග්‍රීසින්ට බඩු බාහිරාදිය ගෙනෙන්නන්ද, පණිවිඩකරුවන්ද ඇතුළු බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 


ඉක්බිති මේජර් මැක්ඩොවල්ඞ් කෝපාවිශ්ටව තම හමුදා මෙහෙය වූයේ සාමාන්‍ය ජනයාගෙන් ද පලිගැනීමටය. 


ඒ අනුව ප්‍රදේශයේ ගෙවල් දොරවල් ගිනිබත් කළහ. ධාන්‍ය පැහැරගත්හ. වගාබිම් විනාශ කළහ. මිනිසුන් පමණක් නොව ගවයන් ද ඇතුළු සතුන්ද මරා දැමූහ. 


අසරණ ගම්වැසියන් කඳු මුදුන්වලට දිවගොස් පණ බේරාගෙන මේ විනාශය දැක සෝසුසුම් හෙළුෑහ. 


කිවුලේගෙදරගේ කණ්ඩායම සුද්දන් සතුව තිබූ උසන්වැල්ල, අයගම, වියලුව, කොටබෝව, අහුපොළ ආදි කඳවුරු එකින් එක ඔවුනට අහිමි කළ බවත් ඔවුනට ඉතිරි වූ ප්‍රධාන කඳවුර වූයේ පරණගම බවත් කියති. 


එසේකොට මේ වීරයා දෙදෙහසක පමණ ඉතිරි වී සිටි සේනාවද ගෙන කඳවුරු වටලා මාරාන්තික ප්‍රාහරයක් එල්ල කිරීමට බලා සිටියේය. එහෙත් මේ වන විට බූටාවේ රටේරාල තදබල ලෙස රෝගීව සිටියේය. කැප්පෙටිපොළ රක්ත අතීසාරයට ගොදුරුව සිටියේය.


ඇද හැලුණු මහ වැසි වලට අමතරව වෙල්ලස්ස පුරා පැතිර ගිය වසංගත රෝගයට කිවුලේගෙදරගේ හමුදාවේ බොහෝ දෙනෙක් ගොදුරු වූහ. මේ අතර ඉන්දියාවෙන් උපකාර සේනා පැමිණිම නිසා නව පණක් ලද ඉංග්‍රීසිහු නැවතත් ඌව වෙල්ලස්සට මහත් විපත් පමුණුවන්නට වූහ.


තමා සමග පෙරමුණ ගෙන කටයුතු කළ බොහෝ නායකයින් වසංගතයට හසුවීමෙන් ද, බොහෝ පිරිස් සුද්දන්ගේ කෲර වධබන්ධනවලට ලක්ව මියයාමෙන්ද අසරණව සිටි කිවුලේගෙදරට කළ හැකි දෙයක් නොවීය. ඔහුගේ සෙවණැල්ල මෙන් සිටි බූටාවේ රටේරාල ද අල්ලා ගනු ලැබීය.


කිවුලේගෙදර මොහොට්ටාල අල්ලා දුන් කෙනෙකුට පගෝදි 500ක් දෙන බවට සුදු ආණ්ඩුව අඬබෙර යැවුහ.


දේශ හිතෛශි කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවුවත් වෙස්වළාගෙන ජනතාව අතරම සිටි මොහු පරණගම මරක්කලයින් දෙදෙනෙකුගේ ඔත්තුවක් මත අලුත් නුවර බිම්තැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.


විවෘත නඩු විභාගයකින් පසු 1818 දෙසැම්බර් මස 18 වැනිදා කිවුලේ ගෙදර මොහොට්ටාල විරුවාට මරණ දඩුවුම පැමිණවීමට සුදුපාලකයෝ කටයුතු කළහ. 

Untitled-2


අද මේ ප්‍රදේශයේ ජීවත්වන්නේ කිවුලේගෙදර පරපුරේ පස්වන පරම්පාරාවේ උදවිය බැවින් නෑදෑ නිවෙස් ගණනාවකට ගියත්  කිවුලේ ගෙදර මොහොට්ටාල ගැන වැඩි යමක් දැන ගත නොහැකි විය.


කෙසේ නමුත් එක නිවසක තිබි කිවුලේ ගෙදර මොහොට්ටාල භාවිතා කළ බව කියන අමුතු ආරයක ඉපැරණි පහනක් දැකගත හැකිවිය.


කෙසේ නමුත් වියලුව හා බිම්තැන්නේ මිනිස්සු කළගුණ සැලකීමට අමතක නොළහ. ඔවුහු පුංචි අලුත් බණ්ඩාර දෙවියෝ නමින් කිවුලේගෙදර මොහොට්ටාල විරුවා දේවත්වයේ ලා සැලකුබව එක කතාවකි.


තවත් කතාවක් අනුව කිවුලේගෙදර මොහොට්ටාලගේ පුතෙකි නැතිනම් පවුලේ ඥාතියෙක් බවය.


අනූ හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ කරුණාතිලක සීයා කිවුලේ ගෙදර පතහගල පදිංචිකරුවෙකි.


ඔහු ජනප්‍රවාදයේ එන කතාවක් කීවේය.


කිවුලේගෙදර අප්පුහාමි බණ්ඩාර තමයි ඔය දෙවියන් වුණේ.


පවුලේ වැඩිමලා වුණු අප්පුහාමි කම්මැලි වුණා මල්ලි හරිම කඩිසරයිලු. මල්ලි කුඹුරු කොටලා මහන්සිවෙලා මුදල් හොයනවලු.


මෙයා එළි වෙනකල් නිදියනවලු. දවසක් අම්මා බැණලා තියෙනවා “බලපං හීන්කොල්ලා හම්බ කරනවා උඹ නිකං ඉඳන් ගිලිනවා” කියලා පතහගලට ගිහින් කන්න පොලොස් ගෙඩියක්වත් කඩන් එන්න බැරිදැයි අම්මා ඇහුවම මෙයා අහගෙන ඉඳලා ඊට පහුවදා උදෙන්ම නැගිටලා ගෙදරින් ගිහින් තියෙනවා.


හවස 2ට විතර ගෙය පිටුපස්සෙන් දඩාස් ගාලා ශබ්දයක් ඇහිලා. අම්මා ගිහින් බලනකොට ගෙඩිත් එක්ක කොස්ගහ උදුරාගෙන ඇවිත්.


මේ සිද්ධියෙන් පස්සේ ගමේ අය දැන ගත්තා අප්පුහාමි පුදුමාකාර වැඩකරන වීරයෙක් කියලා.


තව දවසක් ගමවෙල යන කුඹුරු යාය මැදින් යනකොට අලියෙක් කුඹුර විනාශ කරනවලු. අප්පුහාමි පැනලා උගේ වලිගයෙන් අල්ලාගෙන වෙල ඔයෙන් එහා පැත්තට විසිකළාලු.


අලියා වැටිලා මැරුන තැන අලියාගේ මස් දියවෙලා ඇට සැකිල්ල මතුවූණාලු. එදා ඉදන් අදටත් එම ස්ථානයට කියන්නේ අලිඇටගොඩ කියලා. 


වෙල ඔයෙන් එගොඩවෙලා පහරගම්මනට යන්න මෙයා තරුණ කාලේ සිරිතක් පුරුද්දක් කරගෙන තියෙනවා. පහරගම්මන කියන්නේ සිංහල රජවරුන්ගෙන් ඉඩකඩම් ලබපු පාරම්පරික මුස්ලිම් ගම්මානයක්. එහේ ප්‍රභූන් අතර ඉඳලා තියෙනවා ෆාතිමා කියලා ලස්සන කෙල්ලෙක්.


අප්පුහාමි එයාගේ තාත්තා හම්බවෙලා මේ තරුණිය සමඟ විවාහ වෙන්න අහලා තියෙනවා. මෙයාට බෑ කියන්න බැරි නිසා ෆාතිමාගේ තාත්තා වැඬේ නොකෙරෙන විධියට හිතලා ඉල්ලීමක් කරලා තියෙනවා.


මම ඒ ගැන සලකලා බලන්නම් හැබැයි එක පොරොන්දුවක් පිට.


ෆාතිමාගේ තාත්තා එහෙම කිව්වම මොකක්ද කරන්න ඕන කියලා.


අප්පුහාමි නොඉසිලිමත් වෙලා තියෙනවා.


හොඳයි මේකයි වැඬේ පුළුවන් නම් හෙට එළිවෙන්න ඉස්සෙල්ලා අපේ තිස්අමුණේ ගොයම් කපලා ඕන කියලා කිව්වලු.


හරි මට දෑකැති තිහක් ගෙනැත් දෙන්න කිව්වලු. ඒ අනුව දෑකැති තිහක් ගෙනැත් දුන්නලු. අප්පුහාමි එක අමුණට එක දෑකැත්ත බැගින් පාවිච්චි කරලා එළිවෙනකොට තිස් අමුණේම ගොයම් කපලා ඉවර කළාලු.


කර කියාගත දෙයක් නොහැකි වූ තරුණියගේ පියා කිරිවීදුරුවක් එක්ක දුව අප්පුහාමි ළගට යැව්වලු.


වෙලේම තියාගෙන අප්පුහාමිට ෆාතිමා පිළිගැන්වූ කිරි වීදුරුව බීලා ඇගේ ඔඩොක්කුවට හිස තියා ගත්තලු.


එහෙම සිටියේදිම අප්පුහාමි කලුරිය කළාලු.


එම ස්ථානයේ ම වළක් කපලා මිනිය වළ දාලා ඒ වළට ගොයම් කැපු දෑකැති තිහයි තවත් වස්තුවයි දාලා මිහිදන් කළාලු. 

කොහොම නමුත් මේ සිද්ධියෙන් පස්සේ ඒ ගමේ මුස්ලිම් ජනයාට මහා නරක දසාවක් උදා උනාලු.


අප්පුහාමි කිඹුලෙක් වෙලා ඉපදිලා වැවේ නාන්න යන තරුණියන් ගිලින්නත් පටන් ගත්තලු. මේ නිසා මුස්ලිම් ජනයා හොඳටම බය වෙලා ඒ සොහොනට පුදපූජා පවත්වන්නට පටන් ගත්තලු.


සිංහල ජනයාත් මේ විස්මිත දේවල් ගැන අහලා ගිහින් එම සොහොනට වැඳුම්පිදුම් කරලා කන්නලව් කරන්න පටන් ගත්තලු. මේ පිදුම් මැද අප්පුහාමි කිඹුල් ආත්මයෙන් මිදිලා දේවත්වයට පත් වුණාලු. කිවුලේ ගෙදර අප්පුහාමි බණ්ඩාර ලෙසින් දෙවත්වයට පත්ව වුණාලු.


බලන්න මහත්තයා කිරිවෙහෙරට ගිහින් ඒ දේවාලය තියෙනවා යැයිද කරුණාතිලක සීයා කිවේ දැඩි විශ්වාසයකිනි.


ඒ කතාව නම් විශ්මිතය අපි වහාම පහරගම්මන සොයා ගමන් ආරම්භ කළෙමු. 


ලොග්ගල්ඔය පසුකර වමට හැරි පහරගම්මනට යන පාර හොඳටම අබලන්ය. කාපට් ඇතුරු බව කියන ඒ පාරේ අලි නෑවිය හැකි වළවල් නැති තැනක් සොයාගත නොහැකි තරම්ය.


ත්‍රීවිලරය පිහිට පතා අපි එම වළවල් තරණය කර පහරගම්මන ගම්මානයට ගියෙමු. මුස්ලිම් පල්ලිය ආශ්‍රිතව පිහිටි මේ මුස්ලිම් ජනාවාසය දෙපස අතරින් පතර සිංහල අයද සිටින බව දැනගන්න ලැබුණි.


ඊ.එම්. හසන් (66) මහතාට අපි පැමිණි කාරණය දැනුම් දුන්විට ඔහු අප ආදරයෙන් පිළිගත්තේය.


අපි කරුණාතිලක සීයා කී කතාව ගැන විමසුවෙමු.


ඔහු ඒ ඉතිහාසය අනුමත කළේය. 


අපි පුංචි කාලේ මේ කතාව අහලා තියෙනවා. අපි පොඩි කාලේ සොහොනට වැඳුම් පිදුම් කළා. ඒක ඇත්ත අප්පුහාමි දෙවියෝ වැස්ස නැති කාලෙට වැස්ස දුන්නා. දුකට පිහිට වුණා. ඒ කාලේ අපිත් සොහොන ළගට ගිහිල්ලා කුරානය කියලා දුක කියනවා.


එතකොට පිහිට වෙනවා.


විශේෂයෙන් ම වැසි ඉල්ලන්න රෝග දුරු කරන්න කියලා ඉල්ලනවා. සිංහල අයත් ඇවිත් පුද ජූජා පවත්වනවා කිසිම භේදයක් නැහැ.


ඔහු කිවේය.


අපි තිස් අමුණ සොයා ගියෙමු.


එය ඉතා සරුසාර වෙල්යායකි.


එක දිගට අනන්තයට විහිදුන කොළ පැහැති ගොයම් යාය අපමණ චමත්කාරය.


සොහොන පිහිටියේ මේ සුවිසල් වෙල්යාය මධ්‍යයේ බව දැනගන්නට ලැබූණි.


අඟල් හයක් පමණ වූ නියර දුටු සැණින් තිගැස්මක් ඇතිවිය. අප දැන් ගමන් කළ යුත්තේ ඒ නියර දිගේය. දෙපා සීරුවට මාරුවට තබමින් නියර දිගේ ගමන් කළෙමු.


එය කදිම අත්දැකීමකි. සිරුරේ සමබරතාව රැකිය යුතු අපූරු ව්‍යායාමයකි. ඇතැම් විට ලිස්සා ගොස් කුඹුරේ මඬේ  පා එරුණද උත්සාහය අත්නොහැර අපි මීටර් 700 ක් පමණ දුර නියරේම ගමන් කර අප්පුහාමි දෙවියන්ගේ සොහොන සොයා ගතිමු.


එහෙත් ඒ දසුන ඉතා දුක්බරය.


සොහොන වනසා තිබුණි.


 නිදන් හොරු සොහොන කඩා එහි තිබූ දැකැති හා වස්තුව සොරකම් කරගෙන ගොස් ඇතැයි අපට සොහොන පෙන්වූ ඒ.එම්. මොහොමඞ් සනාරි නමැති ගම්වැසියා කීවේය.


මේ විනාශයෙන් පසු මෙම ස්ථානයේ වන්දනා මාන කිරීමට පැමිණෙන පිරිසද විශාල වශයෙන් අඩුවූ බව දැනගන්නට ලැබුණි.


සිංහල - මුස්ලිම් ජාතීන් පිරිසක් එකම දෙවි කෙනෙකුට වැඳුම් පිදුම් යාඥා කළ මෙවැනි තවත් ස්ථානයක් ලොව කොතැනක හෝ ඇතැයි නොසිතමි.


එවන් ස්ථානයක් නිධන් හොරු විසින් වනසනු ලැබීම කොයිතරම් පාපයක්ද?


(විශේෂ ස්තුතිය- කිවුලේගෙදර  මොහොට්ටාල පදනමේ සභාපති විශ්‍රාමලත් විදුහල්පති ආර්.එම්. රත්නායක මහතාට)

m

අදහස්(2) බැලූවෝ (2310)

අදටත් ඌව රකින කිවුලේගෙදර දෙවියෝ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මිඝාර. 2017-02-15 12:39:37

අප සිංහල රාජාවලිය අහිමිවුයේ සිංහල රජවරුන්ට තිබූ දකුණු ඉන්දියාණු බිසවුන් අභිශේඛ කිරීමේ පුරුද්ද(ශ්‍රේෂ්ට රජවරුන් වූ දුටු ගැමුණු රජතුමා ගැමි යුවතියක්ද පරාක්‍රමබාහු රජතුමා මෙරට කුමරියක්ද අගබිසව කර ගත්තේය.) සහ අවසාන සිංහල රජු වූ වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ.(සෙල්ලන් නිරිදුගේ)සල්ලාලකමයි.අප සිංහලයන්ගේ තිබූ අසමගිය සහ ශ්‍රී වික්‍රම රාජසිංහගේ තිබූ අත්තනෝමතික පාලනයයි. (අ)

උදයසිරි 2017-02-22 07:06:34

ඉතා වටිනා ලිපියක්. ලියුම් කරුගේ එක අදහසකට පිළිතුරක් ලියමි. මුස්ලිම් සිංහල දෙගොල්ලම වදින දේවාලයක් කුරුනෑගල නගරයේම ඇත. කච්චේරිය පාරේ ගලේබණ්ඩාර දෙවාලයයි . (අ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :